නාමල්ගේ කුප්‍රකට සහචරයින් දෙදෙනකු අල්ලන්න ඉන්ටර්පෝල් වරෙන්තුවක්!

Spread the love

අයථා ලෙස උපයා ගත් මුදල්වලින් විශ්‍රාමික ජනාධිපති සහ වත්මන් කු.පා.ම. මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් හ.පා.ම. නාමල් රාජපක්‍ෂ පවත්වාගෙන ගිය ව්‍යාපාර කටයුතුවලදී, ඔහුගේ සමීපතමයන් ලෙස කටයුතු කළ සැකකරුවන් දෙදෙනකු වහාම අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා ජාත්‍යන්තර පොලිසිය හරහා (ඉන්ටර්පෝල්) වරෙන්තුවක් ඊයේ (9දා) නිකුත් කළේය.

මේ වන විට විදේශ ගතව සැඟව සිටින ඉන්දික ප්‍රභාත් කරුණාජීව සහ ඉරේෂා සිල්වා යන දෙදෙනා මෙලෙස අත්අඩංගුවට ගැනීමට අතිරේක මහෙස්ත්‍රාත්වරයා ජාත්‍යන්තර පොලිසිය හරහා එලෙස විවෘත වරෙන්තුවක් නිකුත් කළේය.

මේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන නාමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු ලෙස කටයුතු කරමින් නීති විරෝධී ආකාරයෙන් රැස් කළ රුපියල් මිලියන 45කට වැඩි මුදලක් යොදා හෙලොකොප් නමැති සමාගමකින් කොටස් මිලදී ගෙන ඇති බව දන්වා සිටි පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු 06 දෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ කඩිනමින් නඩු පැවැරීමට නියමිත බවද අධිකරණයට දන්වා සිටියේය.

නාමල් රාජපක්‍ෂ මහතා සිදු කළ අයථා ගනුදෙනුවලට අදාළ පරීක්‍ෂණ කටයුතු මේ වන විට අවසන් කර ඇතැයි අධිකරණයට දන්වා සිටි පොලිසිය, සැකකරුවන්ට එරෙහි සියලු පරීක්‍ෂණ වාර්තා උපදෙස් පතා නීතිපතිවරයාට යොමු කර ඇතැයි දන්වා සිටියේය.

ඒ අනුව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්‍ෂ මහතා ඇතුළු සැකකරුවන්ට අධි චෝදනා පත්‍ර ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය අධිකරණයට දන්වා සිටියේය.

සිද්ධියට අදාළ නඩුව ලබන ජුනි 22 වැනි දින කැඳවන ලෙස නියම කළ අතිරේක මහෙස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා, එදිනට නීතිපති උපදෙස් ලබාගෙන වාර්තා කරන ලෙස පොලිසියට නියම කෙළේය.

RSL

Related Posts