පාර්ලිමේන්තුවේ 92% ක් O/L අසමත්!

Spread the love

රට පාලනය කරන දේශපාලනඥයන් උගතුන් බුද්ධිමතුන් විය යුතු වුවත් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව දැනට නියෝජනය කරන පිරිසෙන් 92% ක් පමණ සාමාන්‍යපෙළ විභාගයවත් සමත්ව නැතැයි සියම් මහා නිකායේ රංගිරි දඹුලු පර්ශ්වයේ මහා සංඝනායක ආචාර්ය ඉනාමලුවේ ශ්‍රී සුමංගල හිමියෝ පැවසූහ.

මාධ්‍යවේදීන් පිරිසක් ඊයේ (01දා) මහා නායක හිමියන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී අදහස් දක්වමින් උන්වහන්සේ එසේ පවසා සිටියහ. එසේම උගත් කමක් නොමැති පිරිසකගෙන් නියමාකාර සංවර්ධනයක් හෝ හොඳ සැලැස්මක් බලාපොරොත්තු විය නොහැකි බවත් උන්වහන්සේ පැවැසූහ.

වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී සුමංගල හිමියෝ “රටේ පාලකයන් පළාත් හා ප්‍රාදේශීය මානසිකත්වයෙන් මිදී රට ගැන සිතා වැඩකටයුතු නොකළහොත් මේ රට විශාල අර්බුදයකට ගමන් කරනවා. යහපාලන ආණ්ඩුව කෙරේ ජනතාව තැබූ විශ්වාසය මේ ක්‍රම ක්‍රමයෙන් කඩවෙමින් යෑම භයානක තත්ත්වයක්. වත්මන් මැති ඇමතිවරුන් කොළඹ සිට ගම්වල පවතින අඩුපාඩු සපුරාලීමේ ක්‍රියාවලියක් ආරම්භ කර තිබෙනවා.

ගමේ පාසලක වාඩිවීමට බංකුවක් පුටුවක් යන්න එන්න පාරක් නොමැතිව කුඩා මඩුවල පාසල් පවත්වාගෙන යද්දී, පාසල් දරුවන්ට විද්‍යුත් උපකරණ දරුවන්ට ලබාදීමට යාම පුදුම සහගතයි. ආණ්ඩු බලය හිමි පාර්ශ්වය ආණ්ඩුව රැකගැනීමට වෙහෙසෙන අතර විපක්ෂ කණ්ඩායම් පවතින ආණ්ඩුව පෙරළා ආණ්ඩු බලය ලබා ගැනීමට වෙහෙසෙනවා මිස රට සංවර්ධනය ගැන හෝ ජනතා ප්‍රශ්න ගැන අවබෝධයකින් වැඩ නොකිරීම නිසා මේ වන විට සමස්ත ජනතාවම අපහසුතාවට පත්වී සිටින්නේ.

චීනය මේ වනවිට ලෝකයේ සෑම රටකම බලය අල්ලා ගැනීමේ ක්‍රමයට නතුවී සිටිනවා. අපේ රටද ඊට හසුවීමේ අවදානමක් පවතිනවා. මේ නිසා රටේ පාලකයන් මීට වඩා සංවර්ධන යෝජනාවලි පිළිබඳව සිතා බැලිය යුතුයි.”

RSL

Related Posts