කළුග‍ඟෙන් රජරටට ගලන දෙවන පැරකුම් යුගය

Spread the love

මාතලේ දිස්ත්‍රික්කයට අයත් දුම්බර මිටියාවතේ සුන්දර නකල්ස් කඳුවැටියෙන් උපත ලැබූ අඹන්ගංගා කොමළියත්, කළු ගංගා කොමලියත් හැඩ වැඩ දමමින් රිසි සේ ගලා යයි. තමාගේ සුන්දර දිය කොමළියන් දෙදෙන හිතුමතේ ගමන් ගන්නා අයුරු දුම්බර මිටියාවත් මාතාව කනස්සල්ලෙන් බලා සිටියේය. ඒ ඇය තම දියණියන් දෙදෙන මෙලොවට දායාද කළ අරමුණ ඉටු නොවනා බව පෙනෙන නිසා විය හැක.

උතුරුමැද හා වයඹ ප්‍රදේශයන්හි වෙසෙන ගොවි දරුවෝ කටුක නියඟයෙන් පිරුනා. පොළෙව ඉරි තැලුණු කෙත් යායක් මැද අහසින් දිය පොදක් අයැදිමින් විලාප නඟන දෝංකාරය නිසා දුම්බර මිටියාවත් මෑණියන්ගේ වේදනාව තවත් වැඩිවන්නට ඇත. එහෙත් මේ කිසිවක් නොදත් අඹන්හා කළු ගංගා සුරූපිණියන් දෙපළ තවමත් හිතුමතේ සැරි සරණ ආකාරය දුටු දුම්බර මාතාව කිසිත් කර කියාගත නොහැකිතැන පුලතිසි පුරයේ ගොවි පුත්‍රයකුගේ සිතට සෙමින් ළංවී, සිදුවෙමින් පවතින විපත පැහැදිලි කළාය. ඇගේ අහිංසක ආයාචනය ඔහුගේ සිත් පත්ලට ගලා ගියේය.

මේ පුලතිසි ගොවි පුත්‍රයා ජල හිඟයෙන් පීඩා විඳින අසරණ ගොවි ජනතාව වෙනුවෙන් පෙරමුණ ගත්තේය. මීට වසර 27කට පෙර මොරගහකන්ද – කළුගඟ ජල යෝජනා ක්‍රමය ඇරඹීමට මාවත විවර වූයේ එහි ප්‍රතිඵලයක් ලෙසය. එහෙත් නොසිතූ ලෙස පැමිණි විවිධ බාධක හමුවේ ඔහුගේ උත්සාහය ව්‍යර්ථවී ගියේය.

කොතරම් බාධක ආවත් ඔහු තම අරමුණ හකුලා නොගත්තේය. දෛවය කොතරම් අරුමයක්ද? අද ඔහුට බාධා කිරීමට කිසිවකු නැත. ඒ නිසාම ඔහු තම අරමුණ වෙත යාමට කඩිනම් පියවර ගත්තේය. මේ අධිෂ්ඨානශීලී, අනලස් පුලතිසි පුත්‍රයා වෙන කිසිවකු නොව වත්මන් ජනපති මෛත්‍රීපාල සිරිසේනයන්ය.

දුම්බර මිටියාවතින් ගමන් ආරම්භ කළ අඹන් ගඟ මොරගහකන්ද ප්‍රදේශයේදී හරස් කර ප්‍රධාන වේල්ල තැනීමේ මුල් පියවර සඳහා නිදන්වස්තු තැන්පත් කරමින් 2015 නොවැම්බර් 06 වැනිදා මොරගහකන්ද ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කිරීමට ඔහුට හැකි විය. එයින් විසිහය මසකට පසු, එනම් 2018 ජනවාරි 08 වෙනිදා සිට එහි ජලය මතු පරපුර වෙනුවෙන් දායාද කිරීමට තරම් හේ භාග්‍යවන්ත වූවේය.

ගොවි බිම් තෙත් කොට පිපාසයත් නිවයි

කාලාන්තරයක් පුරා කිසිදු මෙහෙයක් නොකොට නිකරුණේ මහ සයුරට ගලාගිය ගන මීටර් 10,00818ක ජල සම්පතක් හිමි අඹන්ගං කොමළියට, මෙතෙක්කල් ජල හිඟයෙන් පීඩා විඳිමින් ගොඩ, මඩ සරුසාර කර ගැනීමට නොහැකිව දුක් අ‍ඳෝනා නැගූ ‍ ගොවි ජනතාවට පිහිට වීමට අවස්ථාව උදාවිය. ඒ අනුව පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් මින්නේරිය, ගිරිතලේ, කවුඩුල්ල, කන්තලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයට අයත් හුරුළුවැව, තිසා වැව , නුවර වැව, නාච්චාදූව, මහ කනදරාව යනාදී ජලාශ මෙන්ම, එවායින් පෝෂණය වන ලොකු කුඩා වැව් සිය දහස් ගණනකට තිරසාර ජල සැපයුමක් ලබා දීමට අඹන්ගං කොමළියට හැකිවිය.

ඒ අනුව සංවර්ධනය කෙරෙන මැදිරිගිරිය නව සංවර්ධන කලාපයේ අක්කර 12,000ක පදිංචි පවුල් 1,36,000ට වසර පුරා අවශ්‍ය කෘෂි ජලය මෙන්ම අවශ්‍ය පිරිසුදු පානීය ජලය ලබා දීමට හැකියාව ඇත. මොරගහකන්ද ජලාශය සතු ජල ධාරිතාව ගන මීටර් මිලියන 570කි. මෙමඟින් ජාතික විදුලිබල පද්ධතියට එකතුවන විදුලි ධාරිතාව මෙගා වොට් 25ක් වන අතර ඒ සඳහා ටර්බයින හතරක් ක්‍රියාත්මක වනු ඇත. මොරගහකන්ද ජල ව්‍යාපෘතියට සමගාමීව 2016 ජූලි මස 25 වන දින කළු ගඟ ජල ව්‍යාපෘතිය ආරම්භ කෙරුණි.

අඹන්ගඟ කොමළියට මොරගහකන්ද ජල රාජ්‍යය ඉදිකොට එහි කිරුළ භාරදුන් පරිදිම ඇගේ නිවුන් සොයුරිය වූ කළුගං කොමළියගේ හිතුවක්කාරී ගමන නවතා මොරගහකන්දට නුදුරු උස් බිමක පිහිටි ලග්ගල, පල්ලේගම සුන්දර ප්‍රදේශයේදී කළු ගඟ ජලාශ රාජ්‍යය ඉදිකොට එහි කිරුළ ඇයට භාරදීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ක්‍රියා කළේය. කළු ගං ජලාශ රාජිනිය තම බල ප්‍රදේශයට අයත් ජල ධාරාවෝ නිකරුණේ නාස්තිවී යාමට නොදී සුරැකිව තබා ගනිමින් තම සොයුරිය හා අත්වැල් බැඳ ගනිමින් දුම්බර මිටියාවත් මෑණියන්ගේ අපේක්ෂාව වූ ජල හිඟයෙන් පීඩා විඳින ජනතාවගේ සිත සුව පිණිස කටයුතු කිරීමට සැරසීම කොතරම් භාග්‍යයක් ද? දිග මීටර් 618කින් හා උස මීටර් 68කින්ද, මීටර් 08ක් පළල මුදුණකින් සමන්විත ප්‍රධාන වේල්ලක් ඇය සතුය. ඊට අමතරව ජලාශයට දකුණු පසින් ඉදිවන සැදලි වේල්ලක් හිමිවන අතර එහි දිග මීටර් 28කි. උස මීටර් 719ක් වේ. වර්ග කිලෝමීටර් 128ක ප්‍රදේශයක් පෝෂණය කිරීමට සැ‍රසෙන කළුගං ජලාශ රාජිනිය වර්ග කිලෝමීටර් 14.5ක භූමි ප්‍රමාණයක් පුරා ගන මීටර් මිලියන 248ක ජල ධාරිතාවක් රඳවා තබා ගැනීමට අපේක්ෂා කරන්නීය.

ජල රාජ්‍යයට කැපවීම් කළෝ

වසර පුරා ඇද හැලෙන වැසි ජලයෙන් හා කළු ග‍ඟෙන් ගලා එන ජලය එක් රැස් කරගන්නා ඇය, තම ධනය තැන්පත් කරගැනීම සඳහා ලග්ගල ප්‍රදේශයේ ග්‍රාමසේවා වසම් 12ක භූමියක් යළි කිසි දිනක කිසිවකුට නොපෙනෙන පරිදි සිය ජල ධාරාවෙන් සමන්විත සුසිනිඳු සළුවෙන් වසා තබන්නට ආශාවෙන් බලා හිඳින්නීය. ජල රාජ්‍යය තනා ගැනීම සඳහා අවශ්‍ය බිම් කඩ ලබා ගැනීමට අනාදිමත් ඉතිහාසයකට උරුමකම් කියන පාරම්පරික නිජබිම් හා කාලාන්තරයක් පුරා හරිහම්බ කර ගත් දේපළ පරිත්‍යාග කළ ලග්ගල ජනතාවට ඇය සැමදා කෘතගුණ සලකනු නොඅනුමානය.

තමා වෙනුවෙන් ඔවුන් කළ පරිත්‍යාගය හමුවේ ඇය කිසි විටෙකත් ශෝක නොවන්නේ ඇයට කළුගං රාජ්‍යය ලබා දුන්නා සේම, ඒ සඳහා භූමිය පරිත්‍යාග කළ සියලු ජනතාව අසරණ නොකළ මෛත්‍රීපාල සිරිසේන මැතිඳුන් එක් අයෙක් වෙනුවෙන් කළු ගඟ ජලාශයේ පහළ නිම්නයේ ගොඩින් අක්කර ½ ක් සහ මඩින් අක්කර 1 ½ ක් දී පදිංචි කළ නිසා විය හැක. එසේම මේ සුවිශාල මෙහෙවර වෙනුවෙන් තම ගම් බිම් පරිත්‍යාග කළ ජනතාවට සාධාරණ වන්දි මුදලක් ලබා දුන් මෛත්‍රීපාල ජනපතිඳුන් පසුව ඒ වන්දි මුදලේ වටිනාකමට තවත් 50%ක මුදලක් ලබා දීමට කටයුතු කළේය.

ජලාශයට යටවන ලග්ගල වෙනුවට සංවර්ධනය කළ අංග සම්පූර්ණ නගරයක් නව ලග්ගල නමින් විශාල භූමි ප්‍රදේශයක ස්ථාපිත කර තිබෙන අතර ඒ සඳහා නවීන පොලිස් ස්ථානයක්, ජාතික මට්ටමේ පාසලක්. සියලු පහසුකම් සපිරි රෝහලක්, උසාවි සංකීර්ණයක්, වෙළෙඳ සංකීර්ණයක්, තැපැල් කාර්යාලයක්, බැංකු පද්ධති, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක්, ක්‍රීඩා පිටි, ප්‍රජා ශාලා, බස් නැවතුම්පොළක්, ඇතුළු කාපට් ඇතිරූ පුළුල් මංමාවත් ඇතුළත්ය.

නව කර්මාන්ත රැසක් ඇරැඹෙන වගයි

ජලාශය පහළ නිම්නය ප්‍රදේශයේ පදිංචි පවුල් 3,000ක් සඳහා අවශ්‍ය ජලය ලබා දීමට පැරණි හත්තොට අමුණ ප්‍රයෝජනයට ගන්නා අතර අලුතෙන් සංවර්ධනය කරන ලද අක්කර 2,000ක වගාබිම්වලට හා එහි පදිංචිකරුවන්ටද කෘෂි ජලය, පානීය ජලය, සැපයීමට නියමිතය. කළු ගඟ ජලාශය මඟින් පෝෂණය වන ගොවි බිම් හා අනිකුත් ප්‍රදේශයන්ට අවශ්‍ය ජලය ලබාදීමෙන් පසු ඇති අතිරික්ත ජලය මොරගහකන්ද ජලාශය වෙත ලබා දීමට සැලසුම්කර තිබීම මඟින් මෙම ජලාශ යුගලය අතර තිබෙන සබැඳියාව මනාව පැහැදිලි වනු ඇත.

කළු ගඟ ජලාශයෙන් මොරගහකන්ද ජලාශය වෙත අතිරික්ත ජලය ගෙන යාමට විශේෂ ඇළ මාර්ගයක් ඉදිවන අතර එහි දිග කිලෝමීටර් 09කි. එම දිගින් කිලෝමීටර් 7. 85 ප්‍රමාණයක් උමං මාර්ගයකි. එහි විෂ්කම්භය මීටර් 6.5කි. මෙමඟින් ගෙන යන ජලය මොරගහකන්ද ජලාශයට එකතු වීමෙන් පසු මෙතෙක් මොරගහකන්ද ජලාශය මඟින් වගා බිම් සඳහා නිකුත් කළ ජල ධාරිතාව විශාල වශයෙන් ඉහළ යනු ඇත. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් වියළි කලාපයේ වසරකට එක් කන්නයක් පමණක් වී ගොවිතැන් කළ ප්‍රදේශ වසරට දෙකන්නයම වගා කිරීමේ හැකියාව ලැබෙනු ඇති. ඊට අමතර ගොඩබිම්හි වගා කටයුතු කළ ගොවීහුද වෙනදාට වඩා තම වගාවන් වර්ධනය කිරීමට යුහුසුළුවනු ඇති අතර මේ ක්‍රියාවලිය හේතුවෙන් රටේ වී වගාව ඇතුළු අනිකුත් ‍බෝගවල අස්වැන්න දෙගුණයකින් වැඩිවේ.

මොරගහකන්ද – කළුගඟ අක්ක නගෝ ජල රාජිනියන්ගේ ජන්මයත් සමඟ ප්‍රදේශයේ මිරිදිය ධීවර කර්මාන්තය වෙළෙඳාම මැණික් කර්මාන්තය, අත්කම් හා කුළුබඩු කර්මාන්තය දෙස් විදෙස් සංචාරක කර්මාන්තය හා බැඳුණු බො‍හෝ ව්‍යාපාරවලට නව මාවත් විවර වේ.

සංවර්ධනයේ දැවැන්ත පිම්මක්

මෙම ජල රාජ්‍යයන් නිසා ප්‍රදේශයේ සිදුවන සංවර්ධන ක්‍රියාවලිය සුළුපටු නොවේ. මැදිරිගිරියේ සුවිසල් ජනාවාසයක් සමඟ අක්කර 100ක වපසරියකින් සමන්විත කර්මාන්ත පුරයක් ද, කළුගඟ ප්‍රදේශයේ අක්කර 50ක නව කර්මාන්ත පුරයක්ද ඉදි කිරීමට කටයුතු කරමින් සිටින අතර සංචාරකයන් ගේ සුව පහසුව වෙනුවෙන් අක්කර 400ක සංචාරක පුරයක් නම්කර අවශ්‍ය පහසුකම් ලබා දීමට නියමිතය. ඊට අමතරව මෙම ජලාශ ආශ්‍රිතව කේබල් කාර් හා විදුලි බෝට්ටු සේවයක් යෙදීමෙන් සංචාරකයන්ට පරිසර වින්දනය උපරිමයෙන් ලැබීමට හැකියාව සැලසා දීමද සිදුවනු ඇත.

පෙරදා තමන් උපන් දේශයට, භූමියට කිසිදු මෙහෙවරක් නොකොට මහා සයුරට ඇදී ගිය අඹන් හා කළුගං දියණියන් දෙස බලා හිඳිමින් දුම්බර මිටියාවත් මෑණියන් සෝ සුසුම් හෙළුවාය. අද ද ඇගේ දෙනෙතට කදුළු පිරී ඇත. ඒ වේදනාවට හෝ සන්තාපයට නොව, දරාගත නොහැකි සතුටටය. ඒ කිසිවක් නිසා නොව උපන් භූමියත්, දේශයත් පෝෂණය කරනු පිණිස තම සුකුමාල දියණියන් දෙදෙන අමිල මෙහෙයක නියැළෙණ නිසාය.

තමාගේ අභිමතය වටහා ගනිමින් එය ඉටු කිරීම පිණිස අඹන් හා කළුගං දියණියන් දෙදෙනාට යා යුතු මඟ පෙන්වා දී ඔවුන්ට ස්ථාවර වාසස්ථානයක් ලබා දීමට කටයුතු කළ මෛත්‍රීපාල සිරිසේනයන් වෙත ඇය කෘතගුණ පුදකරන්නීය. ඒ කාර්යභාරයට අනේක දුක් ගැහැට විඳිමින් දායකත්වය ලබා දෙන සියලු දෙනාටත් ඇගේ හෘද්‍යාංගම ප්‍රණාමය පුද කරනු ඇත.

දුම්බර මිටියාවත් මෑණියනි, ඔබ විසින් මෙලොවට දායාද කළ මහා ධනස්කන්ධය හෙට දවසේ කෝටි ප්‍රකෝටි ජනතාවක් ජීවත් කිරීමට කරනා මෙහෙවර‍ දෙස බලා ආඩම්බර මාතාවක්සේ සැනසුම් සුසුම් හෙළීමට කාලය පැමිණ ඇත.


-දිනමිණ-

RSL

Related Posts