ආණ්ඩුවට විසඳන්න ප්‍රශ්න ඇත්තේම නැද්ද..?

Spread the love

monkනැතක් ප්‍රශ්න තිබිය දී ආණ්ඩුව භික්ෂූන් විනයගත කිරීමට අදාළ පණත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඇත්ත ප්‍රශ්න තිබිය දී ජනතාවට ආහාරයට ගැනීමට නව ප්‍රශ්නයක් නිර්මාණය කිරීමේ මහින්ද රාජපක්ෂ ක්‍රමය වත්මන් ආණ්ඩුවද ක්‍රියාත්මක කරමින් තිබෙන බවක් අපට පෙනී යයි.

රාජ්‍ය සහ ආගම වෙන්ව තැබීම ශිෂ්ට සම්පන්න පාලනයක් සහිත රටවල් විසින් සිදු කර තිබෙන්නකි. ඒ ගැන සංවාදය පසෙක තබමු. ආණ්ඩුවට ඉතා හදිසියේ විසඳිය යුතු ප්‍රශ්න නැති ද?

ලෝක වෙළෙඳපොලේ තෙල් මිල වාර්තාගත අන්දමින් පහළ ගොස් ය. මෙහි තෙල් මිල අඩු කිරීමක් ගැන වගේ වගක් නැත. ජනතාවට ජීවත්වෙන්නට බැරි තරම් ජීවන බර ඉහළ ගොසින් ය. අමුමිරිස් කිලෝව රුපියල් 1000ටම නැග්ගේ ය. හාල් මිල අඩු වීමක් පේන තෙක් මානයේ නැතත් හාල් කිලෝ කෝටියක් පමණ විනාශ වෙමින පවතින බව පසුගිය දිනවල ආරංචි විය. පසුගිය රජය සමයේ මහා පරිමාණ හොරකම්, වංචා, දූෂණ, අපරාධවලින් එකක්වත් නීතිය ඉදිරියට ගෙන එන්නට යහපාලන රජය සමත්ව නැත. ඇවන්ගාඩ් කතන්දරය දැන් ඇහෙන්නේ ම නැත. තාජුඩීන් ගැන වගේ වගක් නැත. සජින් වාස් කියා කෙනෙක් හිටියා ද කියා මතක නැත. අයවැය ජනයාට කිසිම සෙතක් සැලසුවේ නැත. අනාගත සංවර්ධන මාවතක් විවර කළේ ද නැත. අගමැතිවරයා කියූ වොක්ස්වැගන් කර්මාන්ත ශාලාව කොහේදැයි කියාවත් දැනෙන්නේ නැත. තවමත් උතුරේ දහස් ගණනක් ජනයා අවතැන් කඳවුරුවල වෙසෙති.

ආණ්ඩුවට ඒ කිසිවක් ගැන වගේ වගක් නැතිව, රටේ ලොකුම ප්‍රශ්නය ලෙස සලකා භික්ෂූන් විනය ගන්වන්නට සැරසෙයි.

මේවාට අද කාලයේ භාෂාවෙන් කියන්නේ ගොන් පාට් කියා ය. ආගමික සංස්ථාවන් යනු, කිසිදා ඒකමිතියක් නැති ප්‍රපංචයන් ය. ඒවා ආත්ම මූලික, විෂය මූලික කාරණා මත ගොඩ නැගෙන අතර එකම ආගමේ පවා විවිධ භේදයන්, විනය සහ කොන්දේසි සහිත වේ. ඒවා ඒකමිතියකට කිසිදා ගෙන එන්නට ආගමික ශාස්තෘවරුන්ට පවා බැරි විය.

එවැන්නක් කරන්නට ආණ්ඩුවකට ඇති හැකියාව හෝ වුවමනාව කුමක් ද? ආණ්ඩුවක් කළ යුත්තේ ආගමික, ජාති හෝ වෙනත් කොන්දේසි නොසලකා රටේ නීතිය සැමට එක සේ ක්‍රියාත්මක කිරීමයි. නැතිව අහක යන නාගයින් රෙද්ද පල්ලේ දමාගෙන කෑ ගසමින් රටේ ප්‍රශ්න අමතක කිරීමට ක්‍රියා කිරීම නොවේ.

RSL

Related Posts