මහින්ද ජනපතිව සිටියානම් අද රට කොතැනද..?

Spread the love

mahinda-480පසුගිය දශකයේ අමෙරිකානු ඩොලර් මිලියන 19,967ක් නීති විරෝධීව ශ්‍රී ලංකාවෙන් බැහැර වී ඇති බව මේ වසරේ නිකුත් කළ අයි. එෆ්. එෆ්. අන්තර්ජාතික වාර්තාවට අනුව මේ දත්ත සනාථ වී ඇත. එම මුදල් පිළිබඳ සොයා බැලීමට අන්තර් ජාතික සහයෝගය අවශ්‍ය වී ඇති බව මහ නගර හා බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා අනාවරණය කරයි.

පදනම් ආයතනයේ පෙරේදා (20) පැවැති ‘ප්‍රවේශමෙන් මූල්‍ය අගාධයක් ඉදිරියෙනි’ කෘතිය එළිදැක්වීමේ උත්සවයේ දී කර්තෘ දේශනය සිදු කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එහි දී වැඩිදුරටත් අදහස් දක්වමින් ඇමැතිවරයා මෙසේ ද කීය.

“මේ මුදල් සම්බන්ධයෙන් ඉදිරියේ දී රට හා ජනතාව හමුවේ කරුණු අනාවරණය කරනවා. ඒ සම්බන්ධයෙන් පරිගණක ඉංජනේරුවන් කටයුතු කළ යුතුයි. ඊට අවශ්‍ය පහසුකම් රජය ලබා දෙනවා. මෙය කෘතියක් හැටියට හැඳින්වූවාට මෙය කෘතියක් නොවෙයි. මෙය රචනාවක් ලෙසයි මා දකින්නේ. මොකද මේ රටේ සිටින ආර්ථික පිළිබඳ දැනුමක් නොමැති අයට මෙයින් හොඳ අවබෝධයක් ලබා ගත හැකියි.

2010 ජනාධිපතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතා සියයට 58ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තා. සියයට දහයක ඡන්ද ප්‍රතිශතයක් අවශ්‍යව තිබුණා විපක්ෂයේ පොදු අපේක්ෂකයාට. 2015 වසරේ දී උගත් බුද්ධිමත් ලක්ෂ 12ක ප්‍රජාව තමයි වෙනස් කළේ. ඒ අයට සමෘද්ධිය ලබාගන්නවත්, වෙනත් වරප්‍රසාද ලබාගන්නවත් වුවමනාවක් නැහැ. මෙය මහින්ද රාජපක්ෂ මහතාට පැහැදිලි කළත් එය තේරුම් ගත්තේ නැහැ. එදා අවි අතට අරගෙන විප්ලව කළත් දැන් තමන්ගේ සමාජ දේශපාලනික පරිවර්තන සිදු කරන්නේ සිය ඡන්දයෙන්. මහින්ද රාජපක්ෂ මහත්තයාටවත් ඔහුගේ ආර්ථික විශේෂඥයන්ටවත් මෙය තේරුම් ගන්න බැරි වුණා. මෙය මේ රජයත් අවබෝධ කර ගත යුතුයි.

ඒ අයගේ අභිලාස බලය ලබාගන්නත් විනාශ කරගන්නත් කියන එක. මේ රටේ දේශපාලන වෙනසක් ඇති කළේ ප්‍රධාන වශයෙන් කරුණු තුනක් මතයි. එනම් විධායකය අහෝසි කිරීම, ස්වාධීන කොමිසන් සභා ඇති කිරීම, නව මැතිවරණ පනතක් සකස් කිරීම ආදී කරුණු පදනම් කරගෙනයි. මේවා සිදු වෙන්නේ නැහැ කියා සමහරු ප්‍රශ්න කරන්න පුළුවන්. විධායක ජනාධිපති ධුරය අහෝසි කරන්න ආ ආණ්ඩුව එය කළේ නැහැ කියා දැන් චෝදනා නැඟෙනවා. ඇත්තටම විධායක ජනාධිපති ධූරය සම්පූර්ණයෙන් අහෝසි කරන්න මම විරුද්ධයි. අද විධායක ජනාධිපති ධුරය ප්‍රජාතන්ත්‍රිකරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර බලය සමතුලිත වෙලා තිබෙනවා. ඒ නිසා ජාතික සමඟි ආණ්ඩුව බිහි වී තිබෙනවා. ජනාධිපති ධුරය නොතිබ්බා නම් පාර්ලිමේන්තුවේ බහුතරයක් නොමැති වේලාවේ දී විකාරයක් වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු හතළිකගේ සහායෙන් කරන දේවල් බැලූ විට ජනාධිපති ධුරය අ‍වශ්‍යයි. ස්වාධින කොමිසම බිහිවුණාට පමණක් වැඩක් නැහැ. එම ආයතන කළමනාකරණය කිරීමක් අවශ්‍යයි. අධිකරණය කළමනාකරණය කළ යුතුයි. සමහර මාධ්‍ය ආයතන විවිධ මඩ ප්‍රචාර ගෙන ගියත් ඒ අයට විරුද්ධව නඩුවක් දැම්මත් එය ඉදිරියට යන්නේ ඉතාම සෙමෙන්. යුක්තිය ඉටුවීමේ ක්‍රියාදාමයක් විදිහට අධිකරණ කළමනාකරණය කළ යුතුයි.

අනෙකුත් සෑම කොමිසන් සභාවක්ම කළමනාකරණය කළ යුතුයි. පාර්ලිමේන්තුව නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කටයුතු කරමින් ඉන්නවා. ව්‍යවස්ථාව හදන පොදු ක්‍රමයෙන් ඉවතට ගෙන හෝ මැතිවරණ කළ සකස් කළ යුතුයි. ජයග්‍රහණය කරන පක්ෂයකට ආණ්ඩුවක් ගොඩනැඟීමට අවස්ථාව ලැබෙන මැතිවරණ ක්‍රමයක් අවශ්‍යයි. ඒ වගේම ශක්තිමත් විපක්ෂක් තිබිය යුතුයි. ඒ කරුණු තිබෙන කඩිනම් මැතිවරණ ක්‍රමයක් තිබිය යුතුයි.

දැන් සමහරු අහන්නේ දූෂණයක් වුණේ නැද්ද කියා. කිසියම් ආකාරයක දූෂණයක් සිදුව ඇති බව මම ආලාපාළු ආර්ථිකය නැමැති ග්‍රන්ථය හරහා පෙන්වා දී තිබෙනවා. දළ දේශීය නිෂ්පාදනය වැඩි වුණාට එය කුටුම්බයට ගලාගෙන ගියේ නැහැ. ආර්ථිකය වර්ධනය වුණාට එම මුදල් පවුලට ‍ගියේ නැහැ. බිලයන 700ක පමණ ප්‍රමාණයක් කුටුම්බයට නොගොස් වෙන කොහේ හෝ ගිහින් තිබෙනවා. මේ වසරේ නිකුත් වූ අයි එෆ් එෆ් වාර්තාව අනුව පසුගිය අවුරුදු 10 ඇතුළත ආනයන හා අපනයන ක්‍රියාවලියේ ආසන්න අමෙරිකානු ඩොලර් මිලියන 19,967ක් රටින් පිටතට ගලාගෙන ගිහින් තිබෙනවා. මෙසේ නීති විරෝධීව මේ මුදල් ‍රටින් බැහැරවෙලා තිබෙන්නේ.

මෙය අන්තර්ජාතික දත්තයක්. මෙය එෆ්. සී. අයි. ඩී. යට සොයා ගන්න පුළුවන් කියා මම හිතන්නේ නැහැ. ඒ සඳහා අන්තර්ජාතික සහයෝගය අවශ්‍යයි. පැනමා පත්‍රිකා මඟින් යම් යම් නම් එළි වුණා. සමහරු බදු පාරාදීස මේ මුදල් සඟවා තිබෙනවා. ඉදිරියේ දී මේ පිළිබඳ හෙළි වෙයි. දූෂණ සෙවීම විශාල වශයෙන් පමා වී තිබෙනවා. පසුගිය වසර දහයේ කිසිම දේශපාලනඥයෙක් රාජ්‍ය නිලධාරියෙක් සිරගත වී නැහැ. රිමාන්ඩ් බන්ධනාගාරගතවීම් පමණයි. අද නඩු ඇදගෙන යනවා. අද රාජ්‍ය ආදායමෙන් සියයට 97ක් ණය වාරික ගෙවීමට වෙන් කර තිබෙනවා. රාජ්‍ය ආයතන ඇතුළේ විශාල ප්‍රමාණයක් ණය සඟවා තැබුවා. එය රුපියල් බිලියන 1547ක් රාජ්‍ය ආයතනවල සඟවා තිබෙනවා. විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව, වරාය අධිකාරිය හා ශ්‍රී ලංකන් සමාගමේ මෙසේ ණය සඟවා තිබෙනවා.

සහනදායී ණය ප්‍රමාණය අඩු වෙලා තිබෙනවා. 2005 පෙර ණය අරගෙන තිබෙන්නේ වසර 20කට දැන් ණය අරන් තිබෙන්නේ වසර 7කටයි. ඒ කියන්නේ රාජ්‍ය බලය උහුලන කාලයේ ණය ගෙවා අවසන් කළ යුතු වෙනවා. රුපියල අච්චු ගැහුවා කියා මෙය විසඳන්න බැහැ. ‍මේ පටලැවිල්ල විධිමත් ආකාරයට විසඳාගත්තේ නැතිනම් විශාල අර්බුදයක් ඇති වෙනවා. එයයි මේ කෘතියේ මුඛ්‍ය අරමුණ වී තිබෙන්නේ. මේ පිළිබඳ ජනතාව දැන ගත යුතුයි.

අපට මූල්‍ය අරමුදලේ කොන්දේසි ලැබි තිබෙනවා. යම් යම් චෝදනා තිබෙනවා ඒ නිසා ඉදිරියේ විශාල පිම්මක් පැනිය යුතුයි. ඉදිරියේ යම් යම් දේ බලාපොරොත්තු වුණත් එය නිසි කළමනාකරණයක් අවශ්‍යයි. ආර්ථික පාරදෘශ්‍යභාවය ඉතා අවශ්‍යයි. මේවා ක්‍රියාත්මක කරන පුද්ගලයන්ගේ පිරිසුදුභාවය අවශ්‍යයි. එයින් ආයෝජනය වැඩි කළ හැකියි. ආණ්ඩු පිළිබඳ ජන විශ්වාසය ඇති කළ යුතුයි. මේ ආණ්ඩුවේ සිදු වූ මහ බැංකු බැඳුම්කර ප්‍රශ්නය පිළිබඳ සොයා බැලිය යුතුයි. එමඟින් මූල්‍ය වෙළෙඳපොළේ විශ්වාසනීයභාවය බිඳ වැටුණා. විවෘත වෙළෙඳ ක්‍රමයක් ජයවර්ධන ජනාධිපතිතුමා ක්‍රියාත්මක කළා. නමුත් දැන් අපි ක්‍රියාත්මක කරන්නේ සමාජ වෙළෙඳපොළ ක්‍රමයක්. කිසියම් පාලිත තත්ත්වයක් ඇතුළේ කළ යුතුයි.

විදේශ වශයෙන් ඇති වූ බලපෑම නිසයි මේ ර‍ට අර්බුදයක් ඇති කළේ. ජයවර්ධන ජනාධිපතිතුමා අමෙරිකාව දෙසට අරන් ගිය නිසා ඉන්දියාව සෝවියට් දේශය මේ රටේ යුද්ධයක් ඇති කළා. බටහිර රටවල් පහර දෙන නිසා රාජපක්ෂ ජනාධිපතිවරයා චීනය දෙසට රට ගෙන ගියා. මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති වුණා නම් අද රට විසාලාවක් වෙනවා. වෙනිසියුලාවට අද අත්වී තිබෙන ඉරණම තමයි 2015 මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වුණා නම් දකින්න ලැබෙන්නේ. ඒ නිසා එයින් අපි දැන් නිදහස් වී තිබෙනවා. අපි ආදායම් වැඩි කරගෙන වියදම් පාලනය කර ගත යුතුයි. ආයෝජන පරිසර සැකසිය යුතුයි. නීතිමය ක්‍රියාවලිය ප්‍රතිසම්පාදනය කළ යුතුයි. විධිමත් අය-වැයක් ඉදිරිපත් කර ලබන වසරේ සිට මේ අර්බුදයෙන් නිදහස්වීමට හැකි වටාපිටාවක් නිර්මාණය කළ යුතුයි.”

RSL

Related Posts