මංගලගේ මංගල අයවැය නීල හරිත වෙයි

Spread the love

නිදහස්‌ ශ්‍රී ලංකාවේ 72 වැනි අය වැය මෙන්ම යහපාලන ආණ්‌ඩුවේ තුන්වැනි අය වැය ලෙස නීල හරිත අයවැයක්‌ ලෙස නම් කරමින් මංගල සමරවීර මහතා ඊයේ(09) සිය මංගල අයවැය ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

කථානායක කරු ජයසූරිය මහතාගේ මුලසුන යටතේ පාර්ලිමේන්තුව ඊයේ (09 දා) පස්‌වරු 3.00 ට රැස්‌වූ පසුව මුදල් ඇමැතිවරයා අයවැය කතාව කළේය.

ආණ්‌ඩු පක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ අත්පොළසන් නාදය හා ඒකාබද්ධ විපක්‌ෂයේ මන්ත්‍රීවරුන්ගේ ඝෝෂාව මැද පාර්ලිමේන්තුවේ ප්‍රධාන දොරටුවෙන් සභා ගැබට පිවිසි මුදල් ඇමැතිවරයා සිය අත රැඳි අයවැය ගොනුව ඔසොවා විපක්‌ෂයට පෙන්වමින් සිය අසුනේ හිඳ ගත්තේය.

යළි නැගී සිටි මංගල සමරවීර මහතා අය වැය කතාව පැය දෙකකුත් විනාඩි හතළිස්‌ පහක්‌ පමණ කාලයක්‌ ඉදිරිපත් කළේය. මුදල් ඇමැතිවරයා විසින් ඉදිරිපත් කළ අය වැය යෝජනා කිහිපයක්‌ මෙසේය.

කාර්යාල හා සාප්පු සේවක පනත සංශෝධනය කෙරේ.

රජයේ සියලුම වාහන 2025 වන විට දෙමුහුන් හෝ විදුලි වාහන බවට පත් කෙරේ.

විදුලි මෝටර් රථ ආනයන බදු රුපියල් ලක්‍ෂ දහයකින් අඩු කෙරේ. අති සුඛෝපභෝගී මොටර් රථ බද්ද රුපියල් ලක්‍ෂ 25 කින් වැඩිවේ.

එන්ජින් ධාරිතාව 2500 ට වැඩි අධි සුඛෝපභෝගී වාහනවලට සුඛෝපභෝගී බද්දක්‌ හඳුන්වා දේ.

විදුලි ත්‍රිරෝද රථ භාවිතය දිරිමත් කෙරෙන අතර ඩීසල් ත්‍රිරෝද ආනයන බදු රුපියල් 50,000 කින් ඉහළ දැමේ. දැනට භාවිත ත්‍රිරෝද රථ බංගලාදේශය වෙත යෑවීමට කටයුතු කෙරේ.

විදුලි බස්‌ රථ හා ත්‍රිරෝද රථ ආනයනයේදී සියයට අනූQවක ණය මුදලක්‌ ලබාදේ.

ආරක්‌ෂිත වායු බැලුනය නොමැති වාහන ආනයනයට ඉඩ නොදේ. විදුලි බස්‌ රථ පනහක්‌ ආනයනයට ප්‍රතිපාදන වෙන් කෙරේ. විදුලි මෝටර් රථ වෙනුවෙන් විදුලි ආරෝපණ (charging) මධ්‍යස්‌ථාන පිහිටුවීමට පුද්ගලික අංශයට සානු බලය සැපයේ.

මෝටර් රථ සඳහා රුපියල් 1.75 ක්‌ද, මගී බස්‌ රථ සඳහා රුපියල් 20.74 ක සහ යතුරුපැදි සඳහා ශත 13 ක දෛනික කාබන් බද්දක්‌ හඳුන්වා දේ.

පාසල් විෂය මාලාවට ජාන විද්‍යාව, ඩේටකරණය, රොබෝ විද්‍යාව හා නැනෝ තාක්‌ෂණය හඳුන්වා දේ.

විද්‍යා පීඨ ශිෂ්‍ය මාසික දීමනාව රුපියල් 3500 සිට 5000 දක්‌වා ඉහළ දැමේ.

දේශීය වෛද්‍ය පශ්චාත් උපාධි ආයතනයක්‌ හඳුන්වා දේ.

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට සෞඛ්‍ය රක්‍ෂණ ආවරණයක්‌ ලබාදේ.

ක්‍රීඩා සපත්තු ආනයන බද්ද ඊයේ රාත්‍රියේ සිට ඉවත් කෙරේ.

වයඹ, සබරගමු සහ මොරටුව විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨ ස්‌ථාපිත කෙරේ.

සීනි සහිත පැණි බීම සඳහා ශත 50 ක බද්දක්‌ පැනවේ.

මත්පැන් සඳහා ජාතිය ගොඩනැගීමේ බද්දක්‌ පැනවේ.

බැංකු ගනුදෙනුවලදී රුපියල් 1000 ට ශත 20 ක බද්ධක්‌ අය කෙරෙන අතර ණය ආපසු ගෙවීමේදී විශේෂ බද්දක්‌ වසර තුනක්‌ සඳහා අය කෙරේ.

සන්නිවේදන සහ කෙටි වෙළෙඳ පණිවිඩ සඳහා විශේෂ බද්දක්‌ අය කෙරේ.

බෞද්ධ පුස්‌තකාලයක්‌ ආරම්භ කෙරේ.

කලා කරුවන්ට හදිසි වෛද්‍ය රක්‍ෂණ ක්‍රමයක්‌ සහ මොරටුවේ ජාත්‍යන්තර සෞන්දර්ය කලායතනයක්‌ ස්‌ථාපිත කෙරේ.

රජයේ සේවකයන්ට පොදු වැටුප් ගෙවීම් ක්‍රමවේදයක්‌ හඳුන්වා දේ. රාජ්‍ය වැටුප් විෂමතා පිළිබඳ පරිපූර්ණ අධ්‍යයනයක්‌ සිදුකෙරේ. සියලුම රජයේ විශ්‍රාමිකයන්ට ජීවිත කාලය දක්‌වා අග්‍රහාර ආවරණය ලබාදේ.

රජයේ සේවක සහනදායි වාහන යෝජනාව තවදුරටත් ක්‍රියාත්මක වේ.

අර්තාපල් කිලෝවක්‌ 80 කට, ලොකු ලූනු රුපියල් 150 කට, පරිප්පු රුපියල් 150 කට, කරවල රුපියල් 750 කට සහ තෙල් ලීටරයක්‌ රුපියල් 350 කට වඩා වැඩියෙන් අලෙවි නොකරන ලෙස වෙළෙන්ඳන්ගෙන් ඉල්ලා සිටිනවා.

RSL

Related Posts