මාස්පතා මාධ්‍ය කතුවරු හමුවූ මහින්ද කීත් නොයාර් මාධ්‍යවේදියෙක්ද කියා දන්නේ නෑලූ. කිසිදෙයක් මතක නෑලු.. මහින්දය CIDයට දුන් කට උත්තරය මෙන්න

Spread the love

මාස්පතා මාධ්‍ය ප්‍රධානීන් සහ පුවත්පත් කතුවරුන් අරලිය ගහ මන්දිරයට කැඳවා “බ්‍රැක් ෆස්ට් පාටි”(Breakfast party) දෙමින් වක්‍රාකාරයෙන් බලපෑම් සහ අල්ලස් ලබාදුන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන්, ද නේෂන් පුවත්පතේ හිටපු කර්තෘ කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇත්තේ “කීත් නොයාර්” යනු මාධ්‍යවේදීයෙක් යැයි තමා නොදන්නා බවත්, එහෙම දෙයක් මතක නැති බවත්ය.

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් කෘෘර ලෙස වධ හිංසා සිදු කළැයි කියන සිද්ධියට අදාළ නඩුව ඊයේ (20දා) කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙලෙස සඳහන් කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් පසුගිය 17 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව මඟින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නිවෙසට ගොස් ප්‍රකාශ ලබා ගත් බවත් එහිදී මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් පහරදී මුදා හැර ඇති බවත් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහු මුදා හරින ලෙසට දැනුම්දුන් පසුව කීත් නොයාර් මහතා නිදහස් කිරීම සම්බන්ධයෙන් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙසේ පිළිතුරු ලබාදී තිබේ.

දිනක් බන්ධනාගාරයේ සිටින රැ¼දවියන් බැලීම සඳහා බන්ධනාගාරය තුළට ගිය අවස්ථාවේ එවකට රක්ෂිත බන්ධනාගාරගතව සිටි හිටපු ජේ‍යෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා සමඟද කතා කළ බවත් එහිදී ඔහු විසින් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම ඇසූ විට ඕනෑම කෙනෙක් නිදහස් කරනවා යැයි පැවැසුවා කියා මතකයක් තමාට ඇති බවත්ය.

එසේම වර්තමාන කථානායක කරු ජයසූරිය මහතා විසින් තමාට දුරකථන ඇමැතුමක් ලබාදී කීත් නොයාර් පැහැරගෙන ගොස් ඇතැයි තමාට දැන්වූ බවට විශේෂ මතකයක් නොමැති බවත් කීත් නොයාර් කියා මාධ්‍යවේදියෙක් සිටියාද කියා තමාට මතකයක් නොමැති බවත් එවකට බොහෝ මාධ්‍යවේදීන් රජය හා යුද හමුදාව විවේචනය කරමින් ලිපි හා වාර්තා පළ කළ බවත් කීත් නොයාර් කියා මාධ්‍යවේදියෙක්ගේ ලිපි පළවූ බවට තමාට මතකයක් නොමැති බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ ලබා දෙමින් වැඩිදුරටත් සඳහන් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ සඳහන් කර සිටියේය.

එසේම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් අසන ලද සෑම ප්‍රශ්නයකටම පාහේ “මතක නෑ” යන මතය දැරූ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කීය. එම කරුණ සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවන්ට අමතක වීමේ රෝගයකින් පෙළෙන බවත් මේ පිළිබඳව සොයා බලන ලෙසත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියම කළාය.

එසේම පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජේ‍යෂ්ඨ රජයේ අධි නීතිඥ ලක්මිණි ගිරිහාගම මෙනෙවිය සඳහන් සිටියේ “මෙසේ මතක නෑ” කියන මත විමර්ශනවලට බාධාවක් බවයි. එසේම මාධ්‍යවේදී කීත් නොයාර් මහතාගෙන් ලබා ගත් ප්‍රකාශය ද සාරාංශයක් ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධිකරණයේදී සඳහන් කෙළේය. තමා එවකට එල්.ටී.ටී.ඊ. ලිපි හා ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් ලිපි ලිවූ බවත් අවසන් වරට තමා විසින් ලියන ලද්දේ කොළඹ ලෝටස් පාරේ සිදුවූ බෝම්බ ප්‍රහාරය පිළිබඳවත් එහිදී ආරක්ෂක ලේකම් හා ආරක්ෂක ඇමැතිවරයාට ඍජුවම බැන එම ලිපිය ලිවූ බවත් ඊට පසු දින තමා පැහැරගෙන ගිය බවත්ය.

එසේම පැහැරගෙන යන අතරතුර තමාට පහර දුන් බවත් පහර දෙන අතරතුර තමාගේ ලිපිවලට තොරතුරු ලැබෙන්නේ කෙසේද? රහස් මාර්ගවලින් තොරතුරු ලබා දෙන්නේ කවුද? බිරිය හා දරුවන් පිළිබඳව හා බැංකු ගිණුම් පිළිබඳව තොරතුරුද විමසමින් තමාට පහර දුන් බවද ඒ මහතා ප්‍රකාශ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.

තවද තමාගේ දෑස් බැඳ පැහැරගෙන බදුවත්ත නිවෙසට රැගෙන ගොස් තමා අඩ නිරුවත් කර තමාගේ ජංගම දුරකථන හා මංගල මුද්ද ඔවුන් විසින් ගත් බවත් පහර දෙන අතරතුරදී එම ස්ථානයේ සිටි අයකුට දුරකථන ඇමතුමක් ලැබුණු පසු එම අය හරි සර් හරි සර් කියමින් කථා කළ බවත් ඉන් පසුව තමාට පහරදීම නවතා ගල්කිස්ස ප්‍රදේශයට ගෙන ගොස් දමා ගිය බවත් තමාට පහර දුන් බව කිසිවකුට හෝ නොපවසන ලෙසත් පැවසුව හොත් බිරිය හා දරුවන්ට ඉන්න දෙන්නේ නැති බවත් ඔවුන් තමාට පැවැසූ බවද කීත් නොයාර් මහතා සඳහන් කර ඇති බවද ඉන් පසුවද තමාගේ නිවෙස අවට සුදු වෑන් සැරිසැරූ බවත් පසුව තමා දරුවන් හා බිරිය සමඟ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නගරයේ පදිංචියට පැමිණි බවත් ඒ මහතා සඳහන් කළ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේය.

එසේම මෙම සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරතව සිටින අට වැනි සැකකරු වන යුද හමුදා බුද්ධි ප්‍රධානි විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා ඊයේ (20දා) බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මිනිමැරුම් හා මංකොල්ල අංශයේ ස්ථානාධිපති නිශාන්ත සිල්වා සහ සහකාර පොලිස් අධිකාරි තිසේරා මහත්වරු අධිකරණයේ පෙනී සිටියහ.

මෙම සිද්ධියට අදාළව විවිධ අංශ වෙත යොමු කර තිබූ ප්‍රශ්නාවලියන්ට මෙතෙක් පිළිතුරු ලැබී නොමැති බවද පැමිණිල්ල විසින් අධිකරණයට සඳහන් කර සිටියේය. එම කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරිය සඳහන් කර සිටියේ දිගින් දිගටම එම ප්‍රශ්නාවලියට පිළිතුරු නොමැති වීම යන්න මත මෙම සැකකරු රක්ෂිත බන්ධනාගාරගතව තැබිය නොහැකි බවත්, ඉදිරි දින ඇප සම්බන්ධයෙන් තීරණයක් ගන්නා බවත්ය.

මහෙස්ත්‍රාත්වරිය සැකකරු ලබන අගෝස්තු 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කරමින් නඩුව එදිනට කැඳවීමට නියම කළාය.

RSL

Related Posts