මර බිය ඇති කළ මහින්ද, විලි බිය නැතිව ගිය ගමන..

Spread the love

පසුගිය අප්‍රේල් 21වනදා සිදු වූ මිලේච්ඡ ත්‍රස්තවාදී ප්‍රහාරය සිදූ වී පැය 02ක් ගත වීමටත් මත්තෙන් එහි වැඩිම දේශපාලන වාසිය හඹා ගියේ මහින්ද, ගෝඨාභය ප්‍රමුඛ රාජපක්ෂ කඳවුරේ අයවලුන් බව අප ජනතාවට අමුතුවෙන් කිව යුතු නොවේ. ජනාධිපති සිරිසේන, අගමැති රනිල් ඇතුළු කොන්දක් පණ නැති, එකමුතුවක් නැති ආණ්ඩුවේ වරදින් සිදු වූ මෙම ප්‍රහාරයේ සැලසුම් සහගත අභ්‍යන්තර දේශපාලනික කථාව අප ඔබ වෙත ගෙන ආවෙමු. ‘පාස්කු ප්‍රහාරය පිටුපස අභ්‍යන්තර කථාව’ හමුදා බුද්ධි අංශ නිලධාරියෙකුගේ අද්වීතිය අනාවරණය

මෙම ප්‍රහාරයෙන් ජාතික ආරක්ෂාව, ජාතික සමඟිය, රටේ ආර්ථිකය යන සියලු අංශවල වඩාවැටීමේ දේශපාලනික වාසිය හිමිවූයේ අන් කවරෙකුට වත් නොව විපක්ෂයේ වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නම් රාජපක්ෂවරුන්ගේ පක්ෂයටයි.

වෙනදා ඉරිදාට පල්ලි යන විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ ශිරන්ති රාජපක්ෂ මහත්මිය එදා කොච්චි කඩේ පල්ලියට ගියේ නැත. එහෙත් මෙම මිලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී පැයක් දෙකක් ගතවීමටත් මත්තෙන් ආරක්ෂක අංශවල කටයුතු වලටත් බාධා පමුණුවමින් මහින්ද “සියල්ලන්ටම පෙර මම එතන” යන්න පෙන්වීමට උත්සුක විය. මෙරට පරිණතම දේශපාලඥයෙකු වන මහින්ද රාජපක්ෂ මහතාට කඳුළු විකිණීම ගැන යළි අමුතුවෙන් කියා දිය නැත. ඔහු ඊට ඒතරම්ම දක්ෂයෙකි. ශූරයෙකි.

ගෝඨාභිගමනය

වසර කිහිපයක් මඟ බලා සිටි, නියමිත වේලාව (නැකත) පැමිණි විට පවසන බවට මාධ්‍යවලට සහතික වී සිටි ගෝඨාභය රාජපක්ෂ මහතා අප්‍රේල් 21වනදා ප්‍රහාරයෙන් ජනතාවගේ දුක් කඳුළු වියලෙන්නටත් ප්‍රථමයෙන් තම උදාන වාක්‍යය ජාත්‍යන්තර මාධ්‍ය හමුවේ ප්‍රකාශ කරමින් පැවසූයේ ” මෙම මුස්ලිම් ත්‍රස්තවාදය නිමා කිරීමට තමා අනිවාර්යෙන්ම මීලඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා” ලෙසටය. ඒ ඔහු මෙම සිදුවීම නැකතක් බවට පත්කර ගත් අයුරුය. එතැන් පටන් තමා ගැන පම්පෝරි ගැසූ ගෝඨාභය, තමා සිටියානම් මෙවැන්නක් නොවන බව පවසමින් මෙයට මුවා වී ඔහු විසින් මාධ්‍යවේදින් ඇතුළු තමාට එරෙහි කණ්ඩායම් මර්දනයට නීතිවිරෝධීව යොදාගත් වර්තමානයේ සිරගත කොට සිටින බුද්ධි අංශ සාමාජිකයින් නිදහස් කරගනිමින් නඩුවලින් ගැලවීමට මඟක් සෙවීය.

රට අවුලඤ්ඤං.. ගිනි ගෙඩි දෙන්ඤං..

එයින් නොනැවතුණු මහින්ද භීතිය තව තවත් අවුලවමින් තම දේශපාලන වාසියට එය හරවා ගැනීමට කටයුතු කළේය. රටේ ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් කොයි මොහොතක හෝ යළි ප්‍රහාරයක් එල්ල වේයැ’යි නිරන්තරයෙන් මතුරන්නට පටන් ගත් අතර පාස්කු ප්‍රහාරය සිදුව දින 21ක් ගෙවී ගිය තැන අහඹු ලෙස රටේ තැන් තැන්වල සැලසුම් සහගත කලහකාරී, ප්‍රචණ්ඩකාරී සිදුවීම් සිදුවන්නට විය. ඒත් සමඟම විපක්ෂ නායක මහින්ද එසැනින් පුවත්පත් නිවේදන නිකුත් කරමින් 83 කළු ජූලිය සිහිපත් කරමින් සිහින දැකීය. හමුදාපති ඇතුළු ආරක්ෂක අංශ පාසැල්වල ආරක්ෂාව තහවුරු කොට ඇති බව පුන පුනා කියද්දී මහින්ද රාජපක්ෂ මහතා දිගින් දිගටම රට වටේ කියමින් ගියේ පාසැල්වල ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවත් ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවත්ය. පසුගිය දිනෙක පාර්ලිමේන්තුවේ පවා විශේෂ ප්‍රකාශයක් කරමින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සඳහන් කළේ, මැයි 13 වනදා ප්‍රහාරයක් එල්ල වන බවට තොරතුරු වාර්තා වී ඇති බවයි.

එහෙත් ආරක්ෂක අංශවල දක්ෂතාවයත්, රටේ ජනතාවගේ විමසිලිමත්භාවයත් නිසා එවැන්නක් සිදු වූ නැත. එයින් පසු මහින්දට තවදුරටත් ජනතාව තුල මර බිය ඇතිකිරීමට අපහසුබව පෙනී යන්නට විය. වෙසක් පොහොයෙන් පසු මේ රටේ අති බහුතර දෙමාපියන් තම දරුවා පාසැල් යැවීමට තීරණය කොට තිබිණ.

ට්‍රැක් මාරු කිරීම

වයස අවුරුදු 73ක් ඉක්මවා ගියද දේශපාලන නාඩි හොදින් වැටෙන මහින්දට එය දැනිණ. එම නිසා මහින්ද රටවටේ යද්දී අල්ලන මයික්‍රෆෝනවලට ලබාදෙන හඬපටය ක්‍රමිකව මාරු කළේය. එදත් අදත් දක්ෂ රජ නළුවෙකු වූ මහින්ද රාජපක්ෂ මහතා ඊයේ(21) උදෑසන සියලු මාර්ග, රථ වාහන ගමනාගමනයද අවහිර කරමින් කොළඹ ප්‍රධාන පෙළේ පාසැල් වලට බසින ලද්දේ, මාසයක් පුරා මර බිය වපුරමින් ජප කළ කථා වල පව් ඔහු විසින් ගෙවා දමා ඒවා ලකුණු බවට පත්කරගැනීමට බව නොරහසකි.

මෙපමණ දවසක් අනාරක්ෂිත වූ පාසැල් මහින්දට එක්වරම ආරක්ෂිත වූයේ කෙසේද? මහින්ද යනු දේශපාලඥයෙකි. ඔහු කුමන තත්වයක් යටතේ වුවද මැරෙන තුරා සිදුකරන්නේ තම පවුලේ බලය වෙනුවෙන් වූ දේශපාලනයයි. මහින්දට රටේ දරුවන් වෙනුවෙන් පාසැල්වල ආරක්ෂාව සොයා බලා දෙමාපියන්ගේ හදවත් සුවපත් කිරීමට පාසැල්වලට යෑමට තිබුණේ ඊයේ නොවේ. දෙවන වාරය සඳහා පාසැල් ආරම්භ කළ පසුගිය මැයි 06, හෝ 07 වනදාය.

රවී වචනයෙන් නොව ක්‍රියාවෙන් දුන් ආදර්ශය

එහෙත් මහින්ද මර බිය සහ ගිනි වැපුරුවා මිස එසේ කළේ නැත. මර බියෙන් ගැසෙන හදවත් වලට යම් හෝ අස්වැසිල්ලක් දෙමින් ‘අවවාදයට වඩා ආදර්ශය උතුම්’ යන්න ප්‍රායෝගික ක්‍රියාවෙන් ඔප්පු කළ ඇමතිවරයෙකුට සිටියේ විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පමණි. සියලු මැති ඇමතිවරුන් තම තමන්ගේ පෞද්ගලික ආරක්ෂාව තව තවත් තරකරගනිද්දී අමාත්‍ය රවී කරුණානායක තමාගේ පෞද්ගලික ආරක්ෂාවට සිටි ඇමති ආරක්ෂකයින් රටේ දුවා දරුවන්ගේ පාසැල්වල ආරක්ෂාවට යොදවන ලෙස ලිඛිතව දන්වමින් ඔවුන් මුදා හැරියේය. ඔහු මැයි 07 වනදා උදෑසනම කොළඹ රාජකීය විද්‍යාලය ඇතුළු පාසැල් කිහිපයකට ගොස් ඒවායේ ආරක්ෂාවත්, දෙමාපියන්ට සහ දරුවන්ගේ හදවත්වලට ශක්තියකුත් සැපයීය. එසේම එදා ඔහු එය සිදුකොට තිබුණේ මාධ්‍ය සංදර්ශනයක් සඳහා නොවන අතර පාසැල්වලට ගොස් තිබුනේ කිසිඳු පෞද්ගලික ආරක්ෂකයෙකුද නොමැතිවය.

විපක්ෂ නායක මහින්ද ගිය පාසැල් ගමනත්, ඇමති රවී ගිය පාසැල් ගමනත් අතර වූ වෙනසේ තරමත්, ප්‍රායෝගිකව ලබා දුන් ආදර්ශයත් එසේය. මහින්ද රාජපක්ෂ මහතා වටා සිටින පිරිසට ඔහුගේ මෙම ක්‍රියාකාරකම් මහත් ඵල මහානිසංස ලැබෙන සිදුවීම් වැනි වුවද මේ රටේ අතිශය බහුතර බුද්ධිමත් සවිඤ්ඤානික ජනතාවට මේවා මහින්ද බලය වෙනුවෙන් රඟන ආටක නාටක පමණි.

-හසිත මානන්දුව-

RSL

Related Posts