මෛත්‍රී වන්දනාවේ යන රාජපක්ෂවරු සහ ඇඟ සහ මොළය අතර දේශපාලනය

Spread the love

කලකට ඉහතදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව හෝ සම්භාෂණ සඳහා සහභාගී වීම හෝ ඔහු අසලින් වාඩි වීමට වත් අකමැති වූ හිටපු ජනාධිපති සහ වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ සහ රාජපක්ෂ පවුල් සමාගමේ අය මේ දිනවල තරඟයට ජනපති මෛත්‍රී පසුපස යන බව හොඳින්ම පෙනී යයි.

ඒ අතර මහින්ද සහ ගෝඨාභය ප්‍රමුඛ වෙයි. රාජපක්ෂවරු දෙපළගේ තෝල්කයින් මේ වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පැමිණෙන උත්සව වලට ඔවුන්ටද ආරාධිතයින් ලෙස සහ සම්බන්ධ වීම සඳහා ආරාධනා ඉල්ලමින් සිටින බව ප්‍රසිද්ධ රහසක්ව ඇත.

මේ සඳහා ප්‍රධාන හේතුව බවට පත්ව ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන උපාය මාර්ගික වශයෙන් කලින් කලට මහින්දට සහ ගෝලයෝ රොත්ත වෙත ලබාදෙන පොල් ලෙලිය. ඒවා මහින්ද සහ ගෝලබාලයින් මෛත්‍රී හිතනවාටත් වඩා ඉතා හොඳින් තලා අඹරමින් යන බව පෙනේ. මෙවර ලබාදුන් “සභාග ආණ්ඩු” පොල් ලෙල්ලද මහින්ද සහ ගෝලයෝ රොත්ත කෙතරම් හොඳින් අඹරා ඇත්දැයි කියනවා නම් මේ වන විට හෙට අනින්දා ශ්‍රී ලංකාවේ හයවන විධායක ජනාධිපති සහ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ 11වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙන අයුරු බැලීමට ඔහුගේ චක්ගෝලයින් සැඳී පැහැදීගෙන ඇඳුම් මසමින් සිටින බව අභ්‍යන්තර තොරතුරු ආරංචි මාර්ගවලින් වාර්තාවේ.

එසේම මේ වන විට මහින්දගේ ගෝලයින් සමඟ 16 කල්ලිය දිවා රෑ නොබලා එකතු කරමින්, අඩු කරමින්, වැඩි කරමින් පාර්ලිමේන්තුවේ බහුතරයට ගණන් හදමින් සිටින බවටත් වාර්තාවේ.

යම් පාර්ශවයකට අසාධාරණයක් වන බැවින් අප මෙහි දේශපාලන සැලැස්ම අනාවරණය කිරීමට බලාපොරොත්තු නොවෙමු. කෙසේ වෙතත් මීට දේශපාලන අර්ථගැනීම වෙනුවෙන් උදාහරණ කිහිපයක් සඳහන් කරනවා මේ දක්වා ජනපති මෛත්‍රී විසින් දෙන ලදුව මහින්ද විසින් මෛත්‍රීට හිතුවාටත් වඩා හොඳින් අඹරා දුන් ලනු කිහිපයකි.

ඉන් එක් උදාහරණයක් පමණක් ගෙන හැර දක්වනවානම් 2015 ජනාධිපතිවරණයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ සන්ධානය පරාජයට පත්වීමෙන් අනතුරුව පැවති මහ මැතිවරණයේදී මහින්දට තරඟ කිරීමට අවස්ථාව ලබා නොදුන්නා නම් අද මෛත්‍රීට අනුගතව හැසිරවිය හැකි, ඔහුට සහය ලබාගත හැකි මන්ත්‍රීවරු පිරිසක්වත් පාර්ලිමේන්තුවට පැමිණෙන්නේ නැත. ඒ නිසා වෙනම පක්ෂයකින් ඉල්ලා විශාල ජයග්‍රහණයක් ලබාගැනීමට ගිය ඒ මොහොතේ මහින්ද නම් අශ්වයාව බුරුවා කොට තමාට “ජාතික ආණ්ඩුවක්” සෑදීමට අවශ්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීධුර ටික අද්දවා ගත්තේය.

අති බහුතරයක් සහිතව එජාපය ජයගෙන පාර්ලිමේන්තුව තුල තමාට අවශ්‍ය තීරක බලය තමා අතින් ගිලිහීම වලක්වා ගැනීම මෛත්‍රී යෙදූ උපක්‍රමය එයයි. බොහෝ පිරිස් බාහිර දේශපාලනයට අර්ථ කථන දෙමින් බැලූ බැල්මට මෛත්‍රී සිදුකරන්නේ මෝඩ-ගොන් වැඩ යැයි පැවසූවද මෛත්‍රීගේ අභ්‍යන්තර දේශපාලන සැලසුම් මෙරට අනෙකුත් දේශපාලඥයින්ට වඩා ඉතා සූක්ෂම, කපටි සහ උපක්‍රමශීලි බව පෙනී යයි.

කොටින්ම මහින්දගේ දේශපාලන සංවේදීත්වය කොතරම් දුර්වලද කියතහොත් එදා තමාට එරෙහිව පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ මේ තමා සමඟ උදේ ආප්ප කන තම පක්ෂයේ ලේකම් යැයි සිතාගැනීම හෝ එය සිදු වූ පසු අදහා ගැනීමට වත් මහින්දට නොහැකි විය.

අවසානයේ මහින්දට වේදිකාවක් වේදිකාවක් ගානේ දෙස් දෙවොල් තබමින් යෑමට සිදු වූයේ “සිරිසේන මාත් එක්ක එකට ආප්ප කාලා මටම ඇරලා ගියා” කියාය.

මෛත්‍රීට ශ්‍රීලනිපය ගොඩගැනීමටත්, ඉදිරි ජයග්‍රණයටත් ඇති එකම බාධාව රනිල් නොව මහින්ද ප්‍රමුඛ රාජපක්ෂවරුන්ය. තවමත් මෛත්‍රී සහ රනිල්ගේ පොදු සතුරා මහින්දය. මහින්දට දේශපාලන ඇඟක් සහ හදවතක් තිබුණද, මොළක් නැත. මෛත්‍රීට දේශපාලනික ඇඟක් සහ හදවතක් නොතිබුණද, සුක්ෂම කෛරාටික බුද්ධියක් සහිත මොළයක් ඇත.

සැබැවින්ම මෛත්‍රී මේ මොහොතේද ‘මහින්ද සහ ගෝලයෝ’ භාවිතා කරමින් කරන සෙල්ලමෙන් ඔහු මේ වන විටත් ජයගෙන අවසන්ය. ‘සභාග ආණ්ඩු’ හැදුවත් නැතත්, තිබෙන ආණ්ඩුව ඉදිරියට ගියත් එසේය. එය මහින්දට අවබෝධ වන විට පෙරහැර ගොස් අවසන්ය.

ඡායාරූපය: ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ(15) මහනුවර පැවති ආගමික වැඩසටහනකට සහභාගී වූ අයුරු

-හසිත මානන්දුව-

RSL

Related Posts