පාලිත ගැන ඔබ මෙතෙක් නොඇසූ අනුවේදනීය අතීතයක සටහනක්.. (Story+Video)

Spread the love

ජනතාව විසින් දේශපාලඥයින්ට හෙන ඉල්ලන යුගයක මෑත ඉතිහාසයේ මිලියන ගණනක් ශ්‍රී ලාංකිකයන්ගේ දුක් කඳුළු මැද නික්ම යන දේශපාලනඥයකු සිටී නම් ඒ අපෙන් සමුගන්නා හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයකු සහ ජනතාවාදී නායකයකු වූ පාලිත තෙවරප්පෙරුමයි.

අද බොහෝ දෙනා ඔහුගේ වියෝවෙන් කම්පාවන අතර දේශපාලනයට පිවිසි ඔහු කළ කී දෑ, ජනතාවාදී සටන් පිළිබඳ මතකයන් බොහෝ සෙයින් මාධ්‍යයන්වල සංසරනයවේ. එහෙත් ඔහුගේ දේශපාලනයට පෙර අතීතය සම්බන්ධයෙන් ඇත්තටම දන්නා අය අතරින් ඔහු ළඟින් ආශ්‍රය කළ, ඔහුට උදව් කළ මිත්‍රයෙකු තැබූ සටහනක් අප මෙසේ ඒ මානව හිතවාදියා වෙනුවෙන් සිදුකරන ගෞරවයක් ලෙස උපුටා දක්වමු.

චන්ඩි මතකයක්…

පාලිත තෙවරප්පෙරුම නැතහොත් චන්ඩි මා හඳුනාගත්තේ 1986 වසරේදීය. ඒ මා මතුගම ශා. මේරි විදුහලේ උසස් පෙළ හදාරන අවධියේදීය. එකල ඔහු දේශපාලනයට සම්බන්ධව නොතිබුනි. නමුත් එකල ඔහු මතුගම ඉතාමත් ජනප්‍රිය චරිතයක් විය. කොලිවුඩ් සිනමාවේ වීරයාගේ චරිතයට සමාන චරිත ලක්ශණ වලින් යුතුවූ ඔහු නිතරම් අසාධාරණයට විරුද්ධ වීර චරිතයේ ජීවත් විය. දමිල සිනමාවේ මෙන්ම, එකල පොලීසිය ඔහුගේ ප්‍රධාන ප්‍රථිවාදියා විය.

එයටම සමානුපාතිකව ඔහු හතලිහක පමණ නඩු වැලක පැටලී සිටියේය. මේ නිසා නීතීඥයෙක් වූ මා‍ඟේ පියාගේ මතුගම කාර්‍යාලයේ පාලිත අයියා රැඳී සිටිනු එකල සුලභ දසුනක් විය. ඔහු වෙනුවෙන් උසාවියේ පෙනී සිටීමට කිසිදු මුදලක් මාගේ පියා අය කරේ නැත. අවංක තරුනයකු නිසි මග ගැනීම මාගේ පියාගේ අධිශ්ථානය වන්නට ඇත. නමුත් දිනෙන් දිනම නඩු වැඩි උනා මිස අඩුවක් උනේ නැත. මේ තත්වය උච්චස්ථානයට පැමිණියේ උසස් පොලිස් නිලධාරියකුට විරුද්ධව මතුගම නගරය පුරා පෝස්ටර් ගැසීමත් සමගය..

එම සිදුවීමට පසුදා පාන්දර පාලිත අයියා මගේ පියාට දුරකථන ඇමතුමක් ලබා දුන් අතර ඉතා උස් හඬින්, බොහෝ විදග්ධ වචන මගේ පියාගෙන් විසිවනු ඇසින. වහාම සිය මිතුරකුගේ වාහනයක් යවා අපගේ පයාගල නිවසට ඔහුව ගෙන්වා සඟවා තැබුවේ රාජ්‍ය විරෝධී චෝදනා ගොනුවීමෙන් වලක්වා නිසි අවස්ථාවේදී උසාවියට ඉදිරිපත් කිරීම සඳහාය. උසාවියට යන අතරමග අත් අඩංගුවට ගැනීම වලක්වාලනු සඳහා පසුදින පාලිතව මගේ පියාගේ රථයේ පිටුපස බිම නිදිකරවා ප්‍රධාන මාර්ග මගහැර අතුරු පාර වලින් මතුගම උසාවියට ගෙනයාමට රියදුරු වශයෙන් කටයුතු කිරීමට මා හට භාර උනේ එම කටයුත්ත ඉතාමත් රහසිගතව සිදුවිය යුත්තක් වූ බැවිනි. උසාවියට ඉදිරිපත් කළ පසු ඇප ලබාගැනීමට හැකිවීම බොහෝ දෙනෙකුගේ පුදුමයට කාරනයක් විය.

මෙම සිද්ධිය පාලිතගේ දිවියේ හැරවුම් ලක්ෂ්‍ය විය. මාගේ පියාගේ මිතුරු උසස් නිලධාරීන් සමග සාකච්චා කර යම් එකගතාවකට එළඹ ඔහුට පැටවී තිබූ නඩු වැලෙන් වසර කිහිපයකදී ඔහුව ගලවා ගැනින. අනතුරුව දේශපාලනය වෙත නැඹුරු වූ පාලිත මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කලේය. ඔහුගේ දේශපාලන ගුරුවරයා වූයේ එවකට මතුගම එක්සත් ජාතික පක්ශ සංවිධායක වරයා වූ මහින්ද සමරසිංහ මහතාය. පක්ශ සංවිධායක වරයාගේ ප්‍රධාන සංවිධායක වශයෙන් පාලිත කටයුතු කලේය.

මහින්ද සමරසිංහ මහතා එක්සත් ජාතික පක්ෂය හැරදමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට පිම්මක් පනිනා විට පාලිත පක්ෂය හැර නොගියේය. පාලිත එක්සත් ජාතික පක්ෂයෙන් මතුගම ප්‍රාදේශීය සභාවට තරඟ කරනා අතරම ඔහුගේ එක් කුස උපන් සහෝදරයා ශ්‍රී ලංකා නිදහස් පක්ශයෙන් තරඟ කලේය. මැතිවරණය ජයගත්තේ වී නමුදු ප්‍රාදේශීය සභා සභාපති ධුරය භාර ගැනිමට ඔහු පැකිලුනේය. පසු කලෙක පාලිත වෙබ් අඩවියක සාකච්චාවකට සහභාගී වෙමින් පවසා සිටියේ කිංස්ලි ප්‍රනාන්දු මහතාට තමාට සභාපති ධූරයේ වැඩ කිරීමට නොදන්නා බව පවසන විට ඔහුට තිබෙන සුදුසුකම නොදන්නා බව දැනගැනීම යැයි පවසා දිරිගැන්වූ බවය.

මුල් කාලයේදී ඔහු මතුගම යටදොල ප්‍රදේශයේ නිල නොවන පාලකයා විය. ප්‍රාදේශීය සභා සභාපති වරයා වීමත් සමගම එය මතුගම දක්වා දිගුවිය. අනතුරුව පාර්ලිමේන්තු මන්ත්‍රි වරයකු වීමත් සමග එය අගලවත්ත, බදුරලිය පසු කර අත්වැල්තොට පාලම් තෙක් දිගු විය. මේනිසා වරින් වර බොහෝ රාජ්‍ය ආයතන සහ නිලධාරීන් සමග ගැටුම් ඇතිවිය. මේ ගැටුම් සියල්ලම පාහේ සාමාන්‍ය ජනතාව වෙත බලවතුන්ගේ සහ නිලධාරීන්ගේ අනීතික ක්‍රියාවන් වලට විරුද්ධ වීම නිසා ආරම්භවූ සිද්ධීන්ය. බොහෝමයක් ගැටුම් කෙලවර වූයේ උසාවියෙනි.

2004 වසරේ සුනාමි ව්‍යසනයට අපගේ නිවස විනාශවූ අවස්ථාවේ ඔහු පැමිනියේ 300 ක පමණ පිරිසක් කැටුවගෙනය. අපගේ පයාගල ගම්මානයම පවිත්‍ර කිරීමට දින දෙකක් පුරා මේ පිරිස දායක විය. 2015 පාර්ලිමේන්තු මැතිවරණය ඔහු ජයග්‍රහනය කරේ බන්ධනාගාර ගතව සිටිම්නි. පසුව උසාවියෙන් ඇප ලබා ගත් වහාම තම නිවසට යාමට පෙර වාහන 250ක පමණ රථ පෙරහැරකින් අපගේ නිවසට පැම්ණ එවකට රෝගී තත්ත්වයේ සිටි මාගේ පියා දැක ගැනීමට පැමිනියේ ඔහුගේ තිබූ කෘතගුණශීලී බව පසක් කරමිණි.

බල ලෝභී දේශපාලන ව්‍යාපෘතියක් වශයෙන් ජාතිවාදය සහ ආගම් වාදය මහා පරිමාණයෙන් අවුලුවන සමයේ ඔහු පෙනී සිටියේ සුළු ජාතික ව්න්දිතයා වෙනුවෙනි. බේරුවල මුස්ල්ම් ජනතාව වර්ගවාදින්ගෙන් මුදවා ගැනීමට ඔහු නොබියව පෙරමුන ගත්තේය. කොවිඩ් වසංගත සමයේ ඔහුගේ මැදිහත්වීම සෞඛ්‍ය බලධාරීනට හිසරදයක් විය. නමුත් හිත හොඳ චන්ඩියා නැවතාලීමට කිසිවකුට නොහැකිවිය.

ඔහුගේ ජීවිතයට මරු පහරක් එල්ල වූයේ සිය ලොකු පුතාගේ මරණය නිසාවෙනි. ඔහු එයින් මහත් පීඩාවක් වින්දේය. ඕනෑම දරුවකුට කිසිදු භේදයකින් තොරව ආදරය කල පාලිත අයියාට සිය දරුවාගේ මරණය දරාගත් නොහැකි විය.
පාලිත අයියා අපගේ පුතුන් තිදෙනාටද හොඳ මිතුරකු විය.

අප හමුවන බොහෝ විට මගේ පුතුන් තිදෙනාගෙන් එක් අයකු නීතීඥයෙක් කර දෙන ලෙස පාලිත අයියා ඉල්ලා සිටියි. ඔහු මියැදුන අදට සති දෙකකට පෙර දුරකථනයෙන් කතා කරනා අවස්ථාවේද එම ඉල්ලීම කලේය. දින කිහිපයකට පසු මගේ පොඩ් පුතා නීති උපාධිය සඳහා තේරුන බව කීමට නොහැකි වීම එතරම් ප්‍රාර්ථනාවක් කල අයෙකු වෙත කල නොසැලකිල්ලක් බව මගේ සිත පෙලයි.

කෙසේ වෙතත්, අප නැවත මුන නොගැසෙන්නෙමු..
ඉතින් ආයූබෝවන් හිත හොඳ මිතුරානෙනි..

උපුටා ගැනීම: ජීවන ප්‍රනාන්දු මහතාගේ ෆේස්බුක් පිටුවෙනි

RSL

Related Posts