හෙළ සිනමාවේ මිණි පහන අද දැයෙන් සමුගනී

Spread the love

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු අද (02) පස්වරු 3.00ට කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව සිදුකිරීමට නියමිතය.

ලෝක පූජිත හෙලයේ මහා සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා දේශීය සිනමාව වෙනුවෙන් සිදුකරන ලද අනූපමේය සේවයට ගෞරව කිරීමක් වශයෙන් අද දින ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කළේය.

අද පෙරවරු 10.00ට ආගමික වතාවත් සිදුකිරීමෙන් අනතුරුව ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය, නිවසේ සිට රථ පෙරහැරකින් කොළඹ නිදහස් චතුරශ්‍රයට රැගෙනඒමට නියමිතය.

ජාතික චිත්‍රපට සංස්ථාව අසලදී සිනමාවේදීන් ඇතුළු කලාකරුවන් විසින් දේහයට පුෂ්පෝහාර දක්වා එතැන් සිට පාගමනින් නිදහස් චතුරශ්‍රය වෙත රැගෙන එනු ඇත.

දහවල් 12.00ට ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ දේහය මහජන ගෞරවය සඳහා නිදහස් චතුරශ්‍රයේ තැන්පත් කර තැබේ.

ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ අභාවයෙන් ශෝකයට පත් කලාකරුවන්, දේශපාලකයින් ඇතුළු විශාල පිරිසක් මේ වන විටත් අවසන් ගෞරව දැක්වීම සඳහා ඒ මහතාගේ දේහය තැන්පත් කර ඇති තිඹිරිගස්යායේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මාවතේ පිහිටි නිවසට පැමිණෙමින් සිටියි.

අන්තර්ජාතිකව සම්භාවනාවට පත් ආසියානු සිනමාවේ දැවැන්ත ත්‍රිමූර්තිය වන ජපානයේ අකිරා කුරොසාවා සහ ඉන්දියාවේ සත්‍යජිත් රායිට අනතුරුව ශ්‍රී ලංකාවේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ශූරීන්හු ද සිය දිවිසැරියෙන් නික්ම යනුයේ, තවත් සියවස් ගණනාවකට විශ්ව සිනමාවේ ආසියානු කලාපීය විශිෂ්ටත්වය පිළිබඳ අභිමානනීය මතකය සදානුස්මරණීය ස්මාරකයක් බවට පත්කරමිනි.

එක්දහස් නවසිය පනස්හයේ, විප්ලවීය පෙරළිය සිනමාව විෂයෙහි ප්‍රක්ෂේපණය කෙරුණු ‘රේඛාව’ චිත්‍රපටයෙන් ඇරැඹුණු ලෙස්ටර් ජේම්ස් පීරිස් නම් දැවැන්ත මහතිර දැක්ම එලෙස සමාප්තියට පත්වනුයේ, සියවසක් අබිමුව තෙක් දිගහැරුණු කියවා නිම කළ නොහෙන මහා පුරාවතක් පරිද්දෙනි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් යනු නිසැකවම සංස්කරණය නොකෙරුණු සංකීර්ණ තිර පිටපතක් බදු චරිතාපදානයකි. රේඛාව ඔස්සේ ග්‍රාමීය ජන ජීවිතයේ විශ්වාසයත් කැමරා රූපරාමු ඔස්සේ ප්‍රශ්න කරන හෙතෙම ‘නිධානය, රන්සළු, දෙලොවක් අතර, අහසින් පොළොවට’ සමඟ පුද්ගලානුබද්ධ මනෝභාවයන් සමඟ සමීප ගනුදෙනුවක නිරත වන්නේය. ‘සන්දේශය, වීර පුරන්අප්පු, ගෝඩිකිං සමඟ ඉතිහාසය රූපණයට කැඳවන වියත් බහුශ්‍රැතයා, “ගම්පෙරළිය, කලියුගය සහ යුගාන්තය” කැටුව දේශපාලනික සහ සමාජයීය පිපිරුමක පසු කම්පනයන් සිනමාත්මක සංධිවනියක් බවට පත්කරයි.

ලෙස්ටර් ජේම්ස් පීරිස් නම්, සමස්ථාර්ථය තුළ අප දකිනුයේ භෞතිකව නොව ආධ්‍යාත්මිකව ද සිනමාත්මක දැක්මෙන්ම විශාලනය වූ යෝධ සිනමා සිත්තමකි. ඔහු අපව ජාත්‍යන්තරය කරා රැගෙන ගියේය. අපව සම්මානිතයන් බවට පත්කළේය. අවසන ඔහු දහවලෙහි කීර්තිය අප වෙත රඳවා රාත්‍රියක් සේ නික්ම ගියේය. ඒ සමඟ ලාංකීය සිනමා කලා සාහිත්‍යාංග ධාරාවේ යුග පුරුෂ පද්ධතියේ බිඳවැටීමක් සනිටුහන් වූ අයුරක් ද ගම්‍ය වේ. මාර්ටින් වික්‍රමසිංහ, එදිරිවීර සරච්චන්ද්‍ර, පණ්ඩිත් අමරදේව, ජෝර්ප් කිට් සහ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් ශූරීන් බඳු ප්‍රාමාණිකයන්ගේ අභාවයෙන් පසු මේ සලකුණු වන රික්තය තුළ අප අපේක්ෂා සහගත විය යුත්තේ අනුප්‍රාප්තික පරපුරේ ආගමනයයි.

Loading...

RSL

Related Posts