වෙල්ගම ඇමතිකම් කළ සමයේ ලංගමයේ බස් ගිලලා! COPE වාර්තාවෙන් හෙළිවෙයි

Spread the love

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ වාර්තාව මඟින් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය දරණ සමයේ ගමනාගමන මණ්ඩලයට නොමිලයේ ලැබුණු බස් රථ 18ක් අස්ථාන ගතවී ඇති බව අනාවරණය කර තිබේ.

මේ අතර මතුගම ප්‍රදේශයේ 2014 වසරේ ජනවාරි මස 31 වැනිදා පැවති රැස්වීමක් සඳහා බස් රථ 47ක් ගාස්තු ගෙවීමකින් තොරව යොදා ගෙන ඇති බවත් කෝප් වාර්තාව හෙලිදරව් කරයි.

පාර්ලිමේන්තුවට එළි දැක්වූ කෝප් කමිටු වාර්තාවෙන් ලංගමයේ සිදුවූ බව කියන බස් රථ වංචාවක් හෙළිදරව් කර තිබේ.

ඒ අනූව බස් රථ 18ක් අස්ථාන ගත කර ඇති බව කෝප් වාර්තාව සඳහන් කරයි.

බස් රථ 10ක් මිලදී ගැනීමේදී නොමිලයේ බස් රථයක් ලැබෙන අතර ඒ ආකාරයට නොමිලයේ ලැබුණ බස් රථ 18ක් මෙලෙස අස්ථාන ගත වී ඇති බව වාර්තා වේ.

2013 – 2014 කාලයේදී බස් රථ 2200ක් කුමාර වෙල්ගම මහතා ප්‍රවාහන අමාත්‍ය ධුරය හා ශෂී වෙල්ගම මහතා එම මණ්ඩලයේ සභාපති ධුරය සමයේදී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මිලදී ගෙන ඇත.

ඒ ඊට අදාළ මුදලෙන් 50%ක් ගමනාගමන මණ්ඩලයෙන් හා ඉතිරි 50% මහා භාණ්ඩාගාරයෙන් වසර 5කින් ගෙවී යන පරිදියි.

බස් රථ 2200න් පළමු තොගය 2013 වසරේ ජූලි මස 19 වැනිදා ලැබී ඇති අතර දෙවැනි තොගය 2015 වසරේ මාර්තු 28 වැනිදා ලැබී ඇති බව සඳහන්.

මෙම බස් රථ මිලදී ගැනීමේදී 10ට එකක් බැඟින් නොමිලයේ ලැබුණු බස් රථ 18ක් ගමනාගමන මණ්ඩලයේ නමට ලබා ගෙන නොමැති බවත්, ඒ සඳහා ඒවා කලුතර දිස්ත්‍රික්කයේ පාසල් අතර බෙදා දුන් බව අනාවරණය වී ඇති බවත් කෝප් වාර්තාව පෙන්වා දෙයි.

අදාළ බස් රථ ඒවා ගෙන් වූ සමාගමෙන් පරිත්‍යාගයක් කර ඇති බවට ලේඛන ඇත්නම් ඒවා කාරක සභාවට ඉදිරිපත් කරන ලෙසද කෝප් කමිටුවේ නිර්දේශ කර තිබේ.

මේ අතර 2014 වසරේ ජනවාරි 31 වැනිදා මතුගම නගරයේ පැවති දිරි උදාව නම් උත්සවයකට කළුතර ප්‍රාදේශීකයට අයත් ඩිපෝ 6කින් බස් රථ 47ක් ගාස්තු අයකිරීමකින් තොරව යොදවා ඇති බවටද කෝප් වාර්තාව අනාවරණ කරයි.

ඒ පිළිබඳව විමර්ශනයක් සිදුකර ඇති අතර එහිදී අනාවරණ වී ඇත්තේ හොරණ, පානදුර සහ අළුත්ගම ඩිපෝවලට අදාළ ධාවන විස්තර ඇතුළත් ලේඛන හිතමතා විනාශ කිරීමක් හෝ අස්ථානගත කිරීමක් සිදුව ඇති බවයි.

මෙලෙස මුදල් නොගෙවා බස් රථ 47ක් රැස්වීමක් සඳහා යොදා ගැනීම හා නොමිලයේ ලැබුණු බස් රථ 18 ලංගමට නොලැබීම පිළිබඳව වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව අභ්‍යන්තර පරීක්ෂණයක් කර, ඒ සම්බන්ධයෙන් ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාව දැනුවත් කරන ලෙසත් කෝප් වාර්තාවේ නිර්දේශ අතර තිබේ.

කෙසේ වෙතත් තමන් ප්‍රවාහන අමාත්‍යධුරය දරණ සමයේ ලංකා ගමනාගමන මණ්ඩලයේ බස්රථ 18ක් අස්ථානගතවී ඇති බවට එල්ල වන චෝදනා අසත්‍ය බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රි කුමාර වෙලගම පැවසීය.

එවැන්නක් සිදුවී ඇත්නම් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කර තමන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙසයි මන්ත්‍රීවරයා ඉල්ලා සිටින්නේ.

RSL

Related Posts