මෙවැනි රටකට නොවෙද ඉර හඳ පායන්නේ?

Spread the love

kuliyapitiya

කුලියාපිටිය යනු ශ්‍රී ලංකාවේ එක්තරා ප්‍රදේශයකි. ශ්‍රී ලංකාවේ සියලු ම දේවල් පාහේ කේන්ද්‍රව ඇති කොළඹ සිට කුලියාපිටියට ඇත්තේ යාන්තම් කිලෝමිටර් 80ක් පමණ දුරකි. එහි වෙසෙන එක්තරා මවකට සිය දරුවා පෙරපාසල් අධ්‍යාපනයෙන් පසුව පාසලක ඇතුළත් කරගැනීමට නොහැකි ව කලාප අධ්‍යාපන කාර්යාලය ඉදිරිපිට උපවාසයක් කරන ලද බව වාර්තා විය. දැනටමත් බොහෝ අය දන්නා පරිදි ටික කලෙකට ඉහත දී මේ දරුවාගේ පියා හදිසියේ මිය ගොස් ඇති බවත් එයට හේතුව ඒඩ්ස් රෝගය බවත් පැතිර ඇති කතාව නිසාවෙනුයි, මේ කුඩා දරුවාට පාසලක් අහිමි ව ඇත්තේ.

කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තම වගකීම නිසිලෙස ඉටු කර නොමැති බව මෙහි මූලික කරුණයි. අධ්‍යාපන ක්ෂේත්‍රයේ පරිපාලකයෙක් ලෙස මොහුගේ ලිංගික අධ්‍යාපනය බිංදුව බව පළමුව කිව යුතු ය. මේ අසරණ මවට සිය දරුවා පාසලට දමා ගැනීමට නොහැකි වීම පසුපස ඇති මූලික කරුණුවලින් එකක් වන්නේ එය යි. අන්තිමට රටේ ශිෂ්ටසම්පන්න ජනතා මතය ඊට එරෙහිව නැගෙද්දී මේ දරුවාට පාසලක් ලැබී ඇති අතර එහි මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 180ක් පමණ වේ. දැනගන්නට ඇති අලුත්ම තත්ත්වය නම් මේ පාසලේ පංතියට දරුවා ඇතුල් කළ පසු අනෙක් සියලු ම දරුවන් පාසලෙන් ඉවතට කැඳවාගෙන ගොස් ඇති බව යි. මේ කුඩා දරුවාගේ මානසිකත්වය කොතරම් පහතට වැටෙන්නට ඇති ද?

ඒඩ්ස් රෝගය ලොව අනාවාරණය කරගෙන දැනට වසර 30කට වැඩි ය. එහි බෝවීම ආදිය ගැන දැනුවත්වීම් කොතෙක් නම් කියා ඉවර ද නැත. මෙරට කොළඹ කේන්ද්‍රීයව ඩොලර් උදෙසා ක්‍රියාත්මකව ඒඩ්ස් වළකන්නට හදන සංවිධානවලින් එකක් හෝ මේ අසරණ මව සහ දරුවාගේ ප්‍රශ්නය වෙනුවෙන් කළ මැදිහත්වීම කුමක් දැ යි අපි නොදනිමු.

මෙවන් පසුගාමී රටක, මෙවන් පසුගාමී පෙදෙසක තම දරුවාට අධ්‍යාපනය දී කුලියාපිටිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ වැන්නන්ගේ සහ කුලියාපිටිය ප්‍රදේශයේ මේ මවට දරුවාට තුච්ඡ ලෙස සැලකූ මිනිසුන් අබිබවා යෑම පිණිස තම දරුවාට අධ්‍යාපන ලබා දෙන්නට සටන් කරන මේ මවට අපි හිස නමා ආචාර කරමු!

RSL

Related Posts