සිවිල් සංවිධාන සහ පාක්ෂිකයින්ගේ ඉල්ලීම මත එජාප ජනාධිපති අපේක්ෂකයා වීමට කරූ සූදානම්..! කොන්දේසියක් සහිතව

Spread the love

පසුගිය සති කිහිපය තුල ගෞරවනීය නායක හිමිවරු ඇතුළු මහා සංඝරත්නය සහ අනෙකුත් පුජ්‍ය ප්‍රසාදීන් වහන්සේලා, විවිධ සිවිල් සංවිධාන ප්‍රධානීන්, විශ්වවිද්‍යාල ආචාර්යවරු හා විවිධ ක්ෂේත්‍රවල බුද්ධිමතුන්, වෘත්තිකයන්, තරුණ සංවිධාන නියෝජිතයින් මෙන්ම දේශපාලන ක්‍රියාකාරින්ද විවිධාකාරයෙන් තමන් ඇමතු බවත්, ඇතැම් පිරිස් පුද්ගලිකව පැමිණ තමන් හමුවු අතර තවත් අය දුරකථනයෙන් අමතමින් හා ප්‍රසිද්ධ ප්‍රවෘත්ති සාකච්ඡාවන් පවත්වමින්ද තමාගෙන් ඉල්ලා සිටියේ සුවිශේෂි කරුණු කිහිපයක් වෙනුවෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන ලෙසට වන යෝජනාව තමා කොන්දේසි සහිතව රට වෙනුවෙන් භාර ගැනීමට සූදානම් බව කථානායක කරු ජයසූරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

එම සියලු පාර්ශවයන් ඉදිරිපත් කළ පොදු කරුණ නම්, රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරමින් සීඝ්‍ර සංවර්ධනයක් කරා රටේ ශ්‍රම බලකාය ඇතුළු ආර්ථික සංවර්ධනයට ඉවහල් වන සියලු අංශ මෙහෙයවීමටත්, පවතින දේශපාලන ව්‍යාකූලත්වය සමනය කර ශිෂ්ඨසම්පන්න සත් පුරුෂ පාලනයක් ස්ථාපිත කිරිමත් සඳහා විශ්වාසනීය නායකත්වයක් රටට අත්‍යාවශ්‍ය හෙයින්, එම ඉල්ලිම ඉදිරිපත් කරන බවයි.

තමන් කෙරෙහි එවන් විශ්වාසයක් රැඳවීම පිළිබඳව පුජ්‍ය පක්ෂය ඇතුළු අනෙකුත් සියලු පාර්ශවයන්ට එතුමාගෙ කෘතවේදිත්වය පිරින බවද කතානායකවරයා පවසයි.

කෙසේ වුවද, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ලෙස ලැබී ඇති කවර ඉල්ලිමක් වුවද මා හට සලකා බැලිය හැක්කේ, “ 1995 වසරේ සිට අප අඛණ්ඩව පෙනී සිටි විධායක ජනාධිපති ධූරය අහෝසි කරලීමේ පරමාර්ථය මුඛ්‍ය අරමුණ කොටගත් දේශපාලන බලවේග සමඟ එක්ව පමණක් බවද එම නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම 17 වන සංශෝධනය මඟින් ඉදිරිපත් කරන ලදුව 19 වන සංශෝධනය මඟින් තහවුරු කල දියුණු ප්‍රශස්ත ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රතිසංස්කරණ වෙනුවෙන් පෙනී සිටින පාර්ශවයන් සමඟ පමණි.

එය දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත ආර්ථික හා සදාචාරාත්මක වශයෙන් ශක්තිමත් සුරක්ෂිත දේශයක් උදෙසා පදනම සැකසීම පිණිස යම් නිශ්චිත සීමිත කාලයක් සඳහා කරනු ලබන කැපවීමක් මිස කිසිවිටකත් ජනාධිපති තනතුර අපේක්ෂාවෙන් කරන මැදහත්විමක් නොවන බවද අවධාරණය ‍කරන බව ද ඒ මහතා සිය නිවේදනයේ සඳහන් කර ඇත.

කෙසේ නමුත් එක්සත් ජාතික පෙරමුණ ප්‍රධාන කොටගත් පාර්ශවයන් නියෝජනය කරමින් එලෙස ඉදිරිපත් වන්නේ නම් එය පක්ෂයෙහි ව්‍යවස්ථාවට අනුකූලව සියලු පාර්ශවයන්ගේ ආශිර්වාදය ද සහිතව සිදුවිය යුතු බව සිය හැඟීම බවද කතානායකවරයා සිය නිවේදනයෙන් දන්වා ඇත.

RSL

Related Posts