මන්ත්‍රී බිල්ලක් ගෙන කනත්තට දක්කන තුරු කරූට නිවනක් නැත..

Spread the love

අගමැති මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේදී කළ විශේෂ ප්‍රකාශය පිළිබඳව විශ්වාසයක් නොමැති බවට ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා කළ යෝජනාව සම්බන්ධයෙන් ඡන්ද විමසීමකට යායුතු යැයි කථානායකවරයා ගනු ලැබූ තීරණයත් සමඟ ඇතිවූ උණුසුම් තත්ත්වය ගැටුම්කාරී තත්ත්වයක් බවට පත්වී, පැය භාගයකට අධික කාලයක් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රි කණ්ඩායමේ ප්‍රාණ ඇපකරුවකු බවට කථානායක කරු ජයසූරිය පත්වීම නිසා, පාර්ලිමේන්තුවේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටියේය.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තු ඉතිහාසයේ කිසි දිනක වාර්තා නොවූ මෙම සිද්ධිය නිසා පාර්ලිමේන්තු ඉතිහාසයට නොමැකෙන කළු පැල්ලමක් එක්වූවාට සැක නැත.
කථානායකවරයා පක්‍ෂග්‍රාහිව ක්‍රියා කරන බවට චෝදනා කරමින් ආණ්ඩු පක්‍ෂයේ මන්ත්‍රිවරු ප්‍රකාශ කළ වචන අතර පුවත්පත්හි පළ කළ නොහැකි අන්දමේ පරුෂ වචනද ඇතුළත්වීම ඒ අවස්ථාවේ ගැලරියේ සිටි පිරිස් මහත් පිළිකුලට ලක් කරමින් අදහස් පළ කරනු දක්නට ලැබිණි.

සමහර මන්ත්‍රිවරු කථානායකවරයාගේ මෑණියන්ද සිහිපත් කළහ.

මෙවන් තත්ත්වයක් හමුවේ විපක්‍ෂයේ මන්ත්‍රිවරු පිරිසක් කථානායකවරයාගේ ආරක්‍ෂාව සඳහා කථානායක පුටුව අසලට එක් රොක් වූහ.

කෙසේ වුවද කථානායකවරයාට සභාව පාලනය කරගත නොහැකි තත්ත්වයකට, ආණ්ඩු පක්‍ෂයේ හා විපක්‍ෂයේ මන්ත්‍රිවරු පත්කළ අවස්ථාවේ දෙපාර්ශ්වයේ මැති ඇමැතිවරු ගුටි හුවමාරුවකට මුල පිරූහ.

එහිදී මන්ත්‍රිවරුන් කිහිප දෙනකු බිම ඇද වැටුණු අතර දිලුම් අමුණුගම මන්ත්‍රිවරයාගේ අත කැපීම හේතුවෙන් ඔහු ප්‍රතිකාර ගැනීම සඳහා ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කෙරිණි.

ගාලගෝට්ටිය සිදුවන අවස්ථාවේ කථානායක කරු ජයසූරිය මහතා දෙසට මන්ත්‍රිවරු පිරිසක් කුණු කූඩ ප්‍රහාරයක් එල්ල කිරීමද විශේෂ දසුනක් විය.
ඊට අමතරව වතුර බෝතල් තුනක්, ෆයිල් කවර, පොත්, වතුර බෝතල් මූඩි සහ ලිපි ද්‍රව්‍යවලින්ද කථානායකවරයා වෙතට දමා ගැසීමට ඇතැම් මන්ත්‍රි පිරිසක් කටයුතු කළහ.
මේ තත්ත්වය හමුවේදී අගමැතිවරයාගේ ප්‍රකාශය ගැන ඡන්දයක් විමසීමට උත්සාහ කළ කථානායකවරයාගේ මයික්‍රෆෝනය නියෝජ්‍ය රාජ්‍ය අමාත්‍ය ආනන්ද අලුත්ගමගේ විසින් උදුරා ගෙන ගියේය.

අවස්ථා ගණනාවකදීම මැති ඇමැතිවරුන් කිහිප දෙනකු සභාව කල් තබා මූලාසනයෙන් පිටව යන ලෙස කථානායකවරයාට ඇවිටිලි කළද ඔහු එම ඉල්ලීම් ගණනකටවත් නොගත්තේය.

අනතුරුව හිටපු කථානායක අමාත්‍ය චමල් රාජපක්‍ෂ මහතාද සභාව කල් තබා මූලාසනයෙන් පිටව යන්නැයි කළ ඉල්ලීමටද කථානායකවරයා සවන් දුන් බවක් දක්නට නොලැබිණි.

පසුව මූලාසනය වෙත කුණු කූඩ, වතුර බෝතල්, ෆයිල් කවර, එල්ලවීම නිසා සභාව කල්තබා ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ගේ ‘හූ’ හඬ මධ්‍යයේ කථානායකවරයා මූලාසනයෙන් පිටව ගියේය.

පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරුන්ගේ ආරක්‍ෂකයා ලෙස සැලකෙන කථානායකවරයා මන්ත්‍රිවරුන්ගේම ‘හූ’ හඬ හා ෆයිල් කුණු කූඩ ප්‍රහාර මැද සභා ගැබෙන් පිටව ගියේය. ඓතිහාසික අවස්ථාවක් ලෙස මෙය සැලකිය හැකිය.

සභාව ආරම්භයේදීම කථානායකවරයා මූලාසනයේ අසුන්ගත් පසුවද ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු කථානායකයාට විරෝධය දැක්වූහ. අනතුරුව කථානායකවරයා විශේෂ ප්‍රකාශයක්ද කළේය.

‘රජයට විරුද්ධ විශ්වාසභංග යෝජනාව ආරම්භ වීමෙන් ඊයේ අමාත්‍ය මණ්ඩලය අහෝසි වූ බැවින් නව අගමැතිවරයකු හෝ අමාත්‍ය මණ්ඩලයක් පත් කර නොමැති බැවින් අද දින කිසිම මන්ත්‍රිවරයකු, අගමැතිවරයා හෝ අමාත්‍යවරයකු හෝ රාජ්‍ය අමාත්‍යවරයකු හෝ නියෝජ්‍ය අමාත්‍යවරයකු හෝ සභානායක හෝ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායකයකු ලෙස මම පිළි නොගනිමි’ යැයි කථානායකවරයා පවසනවාත් සමඟ ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන් දැඩි විරෝධයක් දැක්වූ අතර කථානායකවරයාගේ ප්‍රකාශයට විරුද්ධ පක්‍ෂ මන්ත්‍රිවරු අත්පොළසන් දුන්හ.

‘එසේම ස්ථාවර නියෝග යටතේ පාර්ලිමේන්තුවේ සියලු කටයුතු සම්බන්ධයෙන් අවසාන තීරණය කථානායකවරයා සතු වන අතර එවැනි තීරණයකට අභියෝග කළ හැක්කේ පාර්ලිමේන්තුව තුළ පමණක් බවද අවධාරණය කරමි’යිද කථානායකවරයා කීවේය. කථානායකවරයාගේ එම දැඩි ප්‍රකාශයට ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරුන් දැඩි ලෙස විරෝධය දක්වමින් කෑකෝ ගසන්නට වූහ. මේ අවස්ථාවේ සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා යමක් කීමට නැඟී සිටියත් කථානායක එයට අවසර දුන්නේ නැත. අනතුරුව මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයාට ඔහුගේ ප්‍රකාශය කිරීමට අවස්ථාවක් ලබාදුන්නේය. කථානායකවරයාගේ එම ක්‍රියාවට එකඟ නොවූ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රිවරයා,
‘කථානායකතුමනි, පාර්ලිමේන්තුවේ සම්ප්‍රදායක් තියෙනවා ඊයේ ඇති වුණු සිද්ධිය ගැන ජනාධිපතිතුමා ඔබට ලිපියක් එව්වා. ඔබේ නීතිය ප්‍රතික්ෂේප කරලා. ඔබ දැන් එය සභාවට ඉදිරිපත් කළ යුතුයි’ ගුණවර්ධන මන්ත්‍රිවරයා කීවේය.

‘ඒක මම බලා ගන්නම්. මටත් තියෙනවා ඒකට උත්තරයක් දෙන්න’ දැන් මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රිතුමා කතා කරන්න. කථානායකවරයා කීවේය. ඔහු මහින්ද රාජපක්‍ෂ ගරු අගමැතිතුමා යැයි පාර්ලිමේන්තු භාෂාවෙන් කීවේ නැත.

අනතුරුව ආණ්ඩු පක්‍ෂයේ මැති ඇමැතිවරු ඊට විරෝධය දැක්වූහ.

‘හරි දැන් හරි… මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රිතුමා කතා කරන්න’ කථානායකවරයා කීවේය.
‘අන්න හරි… මන්ත්‍රිතුමා කතා කරන්න’ යැයි විපක්‍ෂයේ ඉදිරි පෙළ මන්ත්‍රිවරුන් අගමැතිවරයාට නෝක්කාඩුවක් කළේය.

‘මන්ත්‍රි වුණත්, අගමැති වුණත් නිකම්ම මහින්ද රාජපක්‍ෂ මහින්ද රාජපක්‍ෂමයි’ මම මන්ත්‍රිකම්, අගමැතිකම් කරලා තියෙනවා. ජනාධිපතිකම් කරලා තියෙනවා. ඒක නිසා මේක මට මහ ලොකු කජ්ජක් නෙවෙයි’ යැයි මහින්ද රාජපක්‍ෂ අගමැතිවරයා කාටත් ඇහෙන්න දැඩිවම කීවේය.

කථානායකවරයා සඳහන් කළ ප්‍රකාශයට එලෙස අගමැතිවරයා උත්තර දුන්නේය.’අගමැති, ඇමැතිවරු පත්කරන්නෙ කථානායකතුමා නෙවෙයි. ජනාධිපතිතුමා. ඔබතුමා ඒක දන්නවා නොදන්නවා නෙවෙයි. නොදන්නවා වගේ වැඩ කරනවා. ඔය ස්වාධීන පුටුවෙ ඉඳගෙන පක්‍ෂග්‍රාහීව වැඩ කරන්න එපා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔබට පැවරී ඇති බලතල අභිභවා යන්න පුළුවන්කමක් නෑ’ යැයිද අගමැතිවරයා කීවේය.

කඩිනමින් මහ මැතිවරණයකට ගොස් මහජන මතය විමසා බලන්නට එක්වන්නැයි දෙපාර්ශ්වයේ සියලුම මන්ත්‍රිවරුන්ගෙන් අගමැතිවරයා ඉල්ලීමක්ද කළේය.
‘පෙන්ෂන් එක ගැන හිතන්න එපා. අපි ඡන්දයකට යමු. පෙන්ෂන් එකට ලොක්කා මොකක් හරි කරයි’ යැයිද අගමැතිවරයා කීවේය.

‘ස්වාධීන කථානායකවරයෙක් වෙන්න පක්‍ෂග්‍රාහිව කටයුතු කරන්න එපා. ඔබ අද වැඩ කරන්නෙ ඔබේ පක්‍ෂය වෙනුවෙන් සහ බටහිර යාළුවෝ වෙනුවෙන්’ යැයිද අගමැතිවරයා කීවේය.

අනතුරුව ලක්‍ෂ්මන් කිරිඇල්ල මන්ත්‍රිවරයා නැඟී සිටියේය.
‘කථානායකතුමනි, මහින්ද රාජපක්‍ෂ මන්ත්‍රිවරයා කළ ප්‍රකාශය ගැන පාර්ලිමේන්තුවේ විශ්වාසයක් නෑ. ඒ සඳහා නාමිකව ඡන්ද විමසීමක් කළ යුතුයි’ යැයි කිරිඇල්ල මන්ත්‍රිවරයා කීවේය.

ඒ අවස්ථාවේ ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරු ඊට විරෝධය දැක්වූහ. විරෝධය හමුවේ ඡන්දයක් විමසීමට කථානායකවරයා ලොකු උත්සාහයක් ගත් බව පෙනෙන්නට තිබිණි.
‘ඔබතුමා ඔහොම කරන එක වැරැදියි. ඔබතුමාට අයිතියක් නෑ ඒකට ඡන්ද විමසීමක් කරන්න’ හිටපු නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල කීවේ මූලාසනය අසලටම ගොස්ය.
“කරුණාකරලා, වාඩිවෙන්න. මම තමුන්නාන්සේව නම් කරනවා. වාඩි වෙන්න. ආසනයට යන්න’ යැයි කථානායකවරයා දැඩිව කීවේය.
එහෙත් ආසනයට නොගිය තිලංග සුමතිපාල මහතාට සහායට ආණ්ඩු පක්‍ෂ මැති ඇමැතිවරුන්ද පැමිණියේය.

වේත්‍රධාරියා ගොස් වහාම සෙංකෝලය සිය කර මත තබාගෙන පසෙකට විය.
‘බැහැල පලයන්. ඔහොම කොහොමද සභාව පාලනය කරන්නේ. මේක සිරිකොත නෙවෙයි. කොන්ද පණ නැති යකා’ ආණ්ඩු පක්‍ෂ මන්ත්‍රිවරුන් මූලාසනය වටකර ගනිමින් කෑ ගසන්නට වූහ.

ඒ අතර ප්‍රසන්න රණවීර, පද්ම උදයශාන්ත, ඉන්දික අනුරුද්ධ, ආනන්ද අලුත්ගමගේ, ජොන්ස්ටන් ප්‍රනාන්දු, මහින්දානන්ද අලුත්ගමගේ කංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, ඩී.වී. චානක, ප්‍රසන්න රණතුංග, නිමල් ලාන්සා, අනුරාධ ජයරත්න, නිරෝෂන් ප්‍රේමරත්න, ජයන්ත සමරවීර, ඩිලාන් පෙරේරා, ලක්ෂ්මන් වසන්ත පෙරේරා ඇතුළු පිරිසක් වූහ.

කථානායකවරයා ආවරණය කරගනිමින් නවීන් දිසානායක, නලීන් බණ්ඩාර, සිඩ්නි ජයරත්න, හෙක්ටර් අප්පුහාමි ඇතුළු පිරිසක්ද වූහ.
අනතුරුව එක්වරම කංචන විජේසේකර සහ හරීන් ප්‍රනාන්දු අතර ගුටි කෙළියක් ඇති විය.

“ඇයි යකෝ… ගහපන් බලන්න” හරීන් කීවේය.
“වරෙන්… වරෙන් ඇයි උඹ හපනවාද චණ්ඩියෙක්ද” කංචන කීවේය.
“පුළුවන්නම් එළියට වරෙන්” කංචන එසේ කියමින් සභා ගැබෙන් එළියට යෑමට උත්සාහ දැරුවේය. ඔහුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි පිරිසක් ආපසු ඇදගෙන විත් අසුනක වාඩි කළේය.

හරීන්ද එළියට යෑමට සැරසෙද්දී චන්ද්‍රානි බණ්ඩාර මන්ත්‍රිවරිය ‘හරීන්… හරීන් ඔහොම ඉන්න” යැයි මඟ හරස් කර නවතා ගත්තේය.
ඒ අතරවාරයේ මහින්ද රාජපක්ෂ මහතා වට කරගනිමින් නාමල්, සියඹලාපිටිය, තිලංග, ලොහාන්, දයාසිරි, රමේෂ් ඇතුළු පිරිසක් සිටියහ.
හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ පසුපස අසුනකට වී කණ්ණාඩි කුට්ටම දෑතින් තුරුලු කරගනිමින් කිසිවකු නොමැතිව තනියම ගාලගෝට්ටිය දෙස නිසොල්මනේ බලා සිටීමද විශේෂයකි.

“මූට වඩා… බබා හොඳයි” යැයි සටන් පාඨ කියමින් ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරු කථානායකට විරෝධය දැක්වූහ.
පවතින තත්ත්වය පාලනය කරගත නොහැකි තැන කථානායකයා දැඩි කම්පනයට පත්ව පාර්ලිමේන්තුව කල්තබා සභාවෙන් පිටව ගියේය.
අනතුරුවද ආණ්ඩු පක්ෂ මන්ත්‍රිවරුන් සටන් පාඨ කියූහ.

“කිහිලි කරු පැනලා ගියා. පස්සෙ ‍ෙදාරෙන් පැනලා ගියා” යැයිද ඔවුහු කීහ.
“බහුතරයක් නැතිව ගියා. බහුතරයක් නැතිව ගියා” යැයි කියමින් විපක්ෂයේ මන්ත්‍රිවරුද සටන් පාඨ කීහ.
“පට්ට හොරා” “කථානායක පැනල ගියා” “බැංකු හොරා පැනලා ගියා” “හොරු දෙන්නම පැනල ගියා” යනුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරුන්ගේ විරෝධය පළ විය.
අනතුරුව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පක්ෂ නායක හමුවක් කැඳවූ අතර එහිදීද දැඩි උණුසුම් මතවාද ඇතිවී තිබේ.
පසුව අද පස්වරු 1.30 දක්වා සභාව කල් තැබීමට යෝජනා විය.

RSL

Related Posts