එදා 13 ට එරෙහිව සටන් කළ ජවිපෙ අද ෆෙඩරල් ගේන්න උදවු කරනවා

Spread the love

මේ රටේ තරුණයන් 60,000ක් මරණයට ගොදුරු කරමින් එදා ජේවීපිය 13 එපා කියා එක්සත් ජාතික පක්ෂයට එරෙහිව සටන් කළත් අද ඊටත් එහා ගිය ෆෙඩරල් පාලනයක් ගෙනැවිත් රට බෙදන්නට සූදානම් වන බවත් දමිළ ජාතික සන්ධානයට, මුස්ලිම් අන්තවාදීන්ට, එක්සත් ජාතික පක්ෂයට හෝ ජේවීපියට වුවමනා ආකාරයට රට විනාශ කරන්නට ඉඩ දිය නොහැකි බවත් සිංහලේ විමුක්ති පෙරමුණේ සභාපති අක්මීමන දයාරතන හිමියෝ ප්‍රකාශ කරති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමට අවශ්‍ය නම් එය කළ යුත්තේ 1970 සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය මෙන්ම 1977දී ජේ.ආර්. ජයවර්ධන මහතා සිදුකළ ආකාරයට මැතිවරණ ප්‍රතිපත්තියක් ලෙස ගෙනැවිත් මහ මැතිවරණයකින් එය ජයග්‍රහණය කරවීමෙන් පසුව බවද දයාරතන හිමියෝ පැවැසූහ.

දෙහිවල බෞද්ධ මධ්‍යස්ථානයේදී පැවැති සිංහලේ විමුක්ති පෙරමුණේ මාධ්‍ය හමුවක් අමතමින් මෙම අදහස් පළ කළ දයාරතන හිමියෝ මෙසේද පැවැසූහ.
වර්තමාන ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට හා එන්ජීඕ කල්ලිවල වුවමනාවට කටයුතු කිරීම නිසා අද වන විට රට බරපතළ ගැටලු ගණනාවකට මුහුණ දී සිටිනවා. මේ රට අද පාලනය කරන්නේ වික්‍රමසිංහ මහත්තයා නෙවෙයි එන්ජීඕ කල්ලි හා දමිළ ජාතික සන්ධානයයි.

රනිල් වික්‍රමසිංහ මහත්තයා බලයට පත්වීමට පෙර සුදු මාධ්‍ය ලෙස පැවැති මාධ්‍ය අද ඔහුට කළු මාධ්‍ය වෙලා තියෙනවා. අද මාධ්‍යයට අපහාස කරනවා. ඒ වෙන මොනවත් නිසා නෙවෙයි රටේ සත්‍ය හෙළි කරන නිසා. අද රට සම්පූර්ණ අස්ථාවර වෙලා තියෙන්නේ.

උතුර සම්පූර්ණ දමිළ සන්ධානයට අවශ්‍ය ලෙසයි පාලනය වෙන්නේ. දෙමළ සන්ධාන මන්ත්‍රිවරුන් ඇඟිලි දිගු කරමින් භික්ෂුන් වහන්සේලාට තර්ජනය කරමින් පසුගිය දවස්වල පැවැසුවේ උතුරේ පවතින බෞද්ධ විහාරස්ථාන හින්දු කෝවිල් කියලා.

අපේ උතුරේ තියෙන උරුමය අතුගාන්න දෙමළ ජාතික සන්ධානයට කවුද අවස්ථාව දුන්නේ.

අද මේ රටේ නීතියක් නෑ. උතුරේදී කේරළ ගංජා සමඟ අසුවුණ සැකකරු සුමන්තිරන් මන්ත්‍රිවරයාගේ බලපෑමට නිදහස් කළා. නමුත් දකුණේ හෙල්මට් එකක් නැතුව කොල්ලෙක් ගියොත් උෟ අල්ලලා හිරේට දානවා. දඩ ගහනවා. පොලිස්පතිවරයා මේවට වගකියන්න ඕන.

ඒ වගේම එන්ජීඕ කල්ලිවලට වුවමනා ලෙස බුද්ධ චීවරයේ ගරුත්වයට හානි කරමින් වැඩ කටයුතු කරන විවිධ ප්‍රකාශ කරන දඹර අමිල හාමුදුරුවන්ට අපි කියනවා මේ රටේ වසර දහස් ගණනක් පුරා ගෞරවාදරයට පත් අපිත් ඇඳගෙන ඉන්න බුද්ධ චීවරයේ ගරුත්වයට හානි වන ලෙස බුදු දහමට හානි වෙන ලෙස ක්‍රියා කරන්න එපා කියලා.

සිංහලේ විමුක්ති පෙරමුණේ ලේකම් සුනිල් අලුත්ගේ,

අද අපි මේ මාධ්‍ය හමුව තියන්නේ මේ රටේ ජාතික බලවේග නිහඬ කරලා, නිහඬ වෙලා ඉන්න වෙලාවක යළි මේ රටේ ජාතික බලවේගවල එකමුතුවක් අවශ්‍යව ඇති නිසා.

මේ ආණ්ඩුව ආවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ගේන්න නෙවෙයි. නමුත් අද මේ ආණ්ඩුව කරන්නේ වෙනත් වැඩක්.

රනිල් වික්‍රමසිංහට, දමිළ අන්තවාදීන්ට, මුස්ලිම් අන්තවාදීන්ට මේ රට විනාශ කරන්න දෙන්න එපා කියලා අපි ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.

අද බල්ලා විසින් නැට්ට වනනවා වෙනුවට නැට්ට විසින් බල්ලා වනන තත්ත්වයට දෙමළ සහ මුස්ලිම් අන්තවාදීන් මේ රට නටවන්නේ. ඒ නිසා වහාම විධායක ජනාධිපති බලතල යළි ස්ථාපිත කළ යුතුයි.

ඒ වගේම මේ රටේ දශක හතරකට ආසන්න කාලයක් දමිළ ත්‍රස්තවාදීන් සමඟ සටන් පැවැතුණත් හින්දු සහ බෞද්ධයා අතර ගැටුමක් තිබුණේ නැහැ. නමුත් රනිල් වික්‍රමසිංහගේ පාලනය යටතේ උතුරේ බෞද්ධ විහාරස්ථාන හා භික්ෂුන්ට දමිළ මන්ත්‍රිවරු තර්ජනය කරනවා. මෙය මේ රටේ ආගමික ගැටුමක් දක්වා යන්න පුළුවන්. එසේ වුවහොත් ඒකට රනිල් වික්‍රමසිංහ වගකිව යුතුයි.

සිංහලේ විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක ශාලික පෙරේරා,

මේ ව්‍යවස්ථාව යටතේ තමයි ජේ.ආර්. ජයවර්ධන, ප්‍රේමදාස රට සංවර්ධනය කළේ. මහින්ද රාජපක්ෂ මහත්තයා යුද්දේ ඉවර කළෙත් මේ ව්‍යවස්ථාව යටතේ. ව්‍යවස්ථාවේ ගැටලුවක් නැහැ. තියෙන්නේ රනිල්ගේ බැරිකම විතරයි.

-මව්බිම-

RSL

Related Posts