පත්තරකාරයෝ, මාධ්‍යවේදියෝ සහ මාධ්‍යවසළයෝ!

Spread the love

camera

ගාල්ලේ මාධ්‍යවේදියෙකුගේ කැමරාවක් නැති වුණේ ය. එය සොයන්නට බොහෝ මහන්සි වුණු, ඒ වෙනුවෙන් පුවත් පළ කළ මාධ්‍යවේදියෙක් දින කිහිපයකට පසු ඒ ජාතියේ කැමරාවකට චාජරයක් සොයන්නට ගොස් නැතිවුණු කැමරාව සමඟ අතට ම අසු වුණේ ය. නැති වූ දින ම කැමරා නැතිවූ අය ඒ වර්ගයේ චාජරයක් සොයා ආවොත් දැනුම් දෙන්නැයි කැමරා ආම්පන්න විකුණන තැන් දැනුවත් කර තිබීම එසේ අසුවන්නට හේතුවයි. නඩු යෑමෙන් සිදුවන පාඩුව නිසා සිදුවීම සමතයකට පත් කර ගැනිණ. ඒ ගැන යමක් ලිවිය යුතු ය.

වර්තමානයේ පත්තරකාරයෝ නැත. පත්තරකාරයෝ වනාහී මාර්ටින් වික්‍රමසිංහගෙන් පටන්ගෙන මානවසිංහ හරහා දයසේන ගුණසිංහගේ හරියෙන් ඉවරවුණු පරම්පරාව ය. පසුව ආවේ මාධ්‍යවේදීන් කියා ජාතියකි. ඔවුන් පත්තරකාරයෝ වූයේ නැත. මාධ්‍ය ආයතනවල වැඩ කරමින් ම විවිධ දේශපාලකයන්ගේ සාක්කුවට වැටුණු දේශපාලකයන්ගෙන් පඩි ගත් බොහෝ පිරිසක් මේ පිරිස අතර සිටිති. එනිසා පත්තරකාරයන්ට වඩා මේ පිරිස සමස්තයක් ලෙස ගුණත්වයෙන් බාල ය.

මේ යුගයේ බිහිව ඇති අලුත් ම වර්ගයක් ළඟදී හඳුනාගන්නට ලැබී තිබේ. ඒ මාධ්‍යවසළයෝ නමැති පිරිසයි. උන් විසින් නඩත්තු කරන මාධ්‍ය නාලිකා සහ වෙබ් අඩවි එ්වා අස්සේ කුණුරසය අවුස්සන අයුරු අතිශය ජුගුප්සාජනක ය. යම් සිදුවීමක දී අතිශය තුච්ඡ සහ පහත් ලෙස ඡායාරූප ආදිය යොදාගනිමින් බාල ලෙස කුණු රසය හරහා හිට් කවුන්ට් ප්‍රමාණය වැඩි කරගන්නට මොවුන් සිය මව් වුව ද විකුණන ජාතියේ උන් ය. උන්ගේ එක ම අරමුණ මුදල් මිසක අන් දෙයක් නොවේ. මාධ්‍යවේදයේ සමාජ වගකීම වැනි වචනයක් උන් අසාවත් නැත.

එවැනි උන් තමන්ගේ සහෝදර මාධ්‍යවේදියාගේ කැමරාව හොරෙන් ගැනීමේ අරුමයක් ද නැති වුවත්, එසේ අවසන් වූ සිදුවීම තවත් පලිප්පු දමමින් මේ වසළයා අනෙක් අයට තර්ජනය කරන බවක් ද දැනගන්නට ඇත. එසේ වුවහොත් සිදුවීම මුල සිට නම්ගම් ඡායාරූප සහිතව පළ කරන්නට අප සූදානම් බව යා තබමු.

RSL

Related Posts