ජොන්ස්ටන්ට ඇප නැතිවෙයි

Spread the love

කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත්කර තිබෙන හිටපු වෙළඳ අමාත්‍ය සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඇප මත මුදාහරිණ ලෙස කළ ඉල්ලීමක් අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ජනක් ද සිල්වා සහ අචල වෙංගප්පුලි යන විනිසුරුවරුන්ගේ එකඟත්වය මත එම නියෝගය ප්‍රකාශයට පත් කෙරුණි.

අභියාචනාධිකරණය මෙම නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබුවේ කුරුණෑගල මහාධිකරණය මඟින් නඩුව අවසන් වනතුරු තමන්ව රිමාන්ඩ් භාරයට පත් කිරීමේ නියෝගය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් ඉදිරිපත් කළ පෙත්සමක නියෝගය ප්‍රකාශයට පත් කරමින්ය.

ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් සඳහන් කර තිබුණේ ඉකුත් රජය සමයේ ස.තො.ස ආයතනයේ මුදල් අක්‍රමිකතා සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා තමන්ට එරෙහිව කුරුණෑගල මහාධිකරණය වෙත නඩුවක් ඉදිරිපත් කර ඇති බවයි.

එම නඩුවට අදාළව තමන්ව එම මහධිකරණය මඟින්ම මීට පෙර ඇප මත මුදා හළ බව සඳහන් කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා තමා කිසිදු අවස්ථාවක ඇප කොන්දේසි කඩ කිරීමක් හෝ අධිකරණය මඟ හැරීමක් සිදු නොකළ බව කියා සිටියේය.

එසේ තිබියදී ඉකුත්දා මෙම නඩුවේ විභාගය ආරම්භ වීමට ප්‍රථම මහාධිකරණ විනිසුරුවරිය විසින් තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කළ බව සඳහන් කරන ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා එම නියෝගය මුළුමනින්ම නීතියට පටහැනි බව කියා සිටියේය.

මේ හේතුවෙන් තමන්ව නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් බාරයට පත් කිරීමේ කුරුණෑගල මහාධිකරණ විනිසුරුවරියගේ තීන්දුව නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් මෙම පෙත්සම විභාග කොට අවසන් තීන්දුවක් ලබාදෙන තුරු තමන්ව ඇපමත මුදා හැරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබුණි.

RSL

Related Posts