මිල සූත්‍රයටත් වඩා භයානක සූත්‍රයක්!

Spread the love

දෙමළ ජාතික සන්ධානය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ එක්සත් ජාතික පෙරමුණට පාර්ලිමේන්තුවේ බහුතරය පෙන්වීම සඳහා සහාය ලබා දුන්නේ ෆෙඩරල් ව්‍යවස්ථාව සම්මත කරගැනීමට බව පිවිතුරු හෙළ උරුමය පවසයි.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකදී එහි ප්‍රචාරක ලේකම් නීතීඥ තුෂාර දිසානායක මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වමින්,

“2019 පෙබරවාරි මාසයේ 4 වෙනිදා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජන රජයේ හැත්තෑ එක්වන නිදහස් දිනය නොවන්නට ඉඩ තියෙනවා. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී පෙඩරල් සමූහාණ්ඩුවේ නිදහස් දිනය බවට එම දිනය පත්වන්නට පුළුවන්.

නව ව්‍යවස්ථාව පෙබරවාරි මාසයේ 4 වෙනිදා ට ප්‍රථම ව සම්මත කරගන්නා බවට මේ දිනවල සූරයන්ගෙත් සූරයා නොහොත් සූර චෞරයා ගේ චරිතයට පණ පොවන ද්විත්ව පුරවැසිධාරී ඒබ්‍රහිම් සුමන්තිරන් මන්ත්‍රීතුමන් කරන ප්‍රකාශයන්ට අනුව අපට එහෙම හැඟෙනවා.

මධ්‍යම රජයෙන් සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර බලයක් පළාත් සභාවලට ලබා ගැනීම සඳහා නව ව්‍යවස්ථාව ගෙන එන බවත්, එක්සත් ජාතික පක්ෂයත් ද්‍රවිඩ සන්ධානයත් ජනතා විමුක්ති පෙරමුණත් එක්ව සකස් කරන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත පෙබරවාරි 4 වැනිදාට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තුනෙන් දෙකක බහුතරයෙන් සම්මත කරන බවත් ඔහු ප්‍රකාශ කරනවා.

මධ්‍යම රජයේ බලපෑමෙන් තොර ස්වායක්ත වූ බල ඒකකයක් බවට පළාත් සභාව පත්වීම යනු පෙඩරල් ක්‍රමයක් ස්ථාපිත වීමයි. එසේ නම් මේ ගෙන එන්නේ පෙඩරල් ව්‍යවස්ථාවක්.

මේ අවස්ථාවේ හොර ගල් අහුලමින් සිටිනා එක්සත් ජාතික පක්ෂය සහ ඊට උඩ ගෙඩි දෙන ජනතා විමුක්ති පෙරමුණ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් පවසන්නේ කුමක්ද? මේ අයුරින් මධ්‍යම රජයේ සහ ආණ්ඩුකාරවරයාගේ බලපෑම්වලින් තොර පළාත් සභා සහිත නව ආණ්ඩු ක්‍රමයක් ගෙන ඒමේ ක්‍රියාදාමයේ ඔවුන් සිටිනවාද යන්න එජාපය හා ජවිපෙ ජනතාවට හෙළිකළ යුතුයි.

දැන් ඉතා පැහැදිලි රනිල් වික්‍රමසිංහට තියන ආදරයක් නිසා නොවෙයි දෙමළ ජාතික සන්ධානය ඔහුට සහාය දැක්වූයේ කියන කාරණය. දෙමළ ජාතික සන්ධානය වඩාත් කැමතියි කොටියාට මිස සමනලයන්ට නොවේ.

එදා කතාවට කිව්වේ බලලා මල්ලෙන් එළියට පනිනවා කියලයි. නමුත් මේ සුමන්තිරන් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශයෙන් පස්සේ කියන්නට වෙන්නේ කොටියා මල්ලෙන් එළියට පැන්නා කියලයි.

ඒ නිසා දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දුන්නේ පෙඩරල් ව්‍යවස්ථාව ගෙන ඒමට කියන එක අද ඉතා පැහැදිලියි. මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණත් ගරිල්ලා සටන් කරුවන් සේ මේ අශුද්ධ මෙහෙයුමට පසුබිමින් දායක වෙමින් සිටිනවා.

මංගල සමරවීර මහතාගේ ඉන්ධන මිල සූත්‍රය ගැන බොහෝ දෙනා කතා වුණා. එම ඉන්ධන මිල සූත්‍රයටත් එහා ගිය බරපතළ සූත්‍රයක් දැන් ක්‍රියාත්මකයි. එය මිල සූත්‍රය නොවෙයි බල සූත්‍රයයි. හැබැයි ඉන්ධන මිල සූත්‍රය වගේ තේරුම් ගන්න අමාරු නැහැ මේ බල සූත්‍රය. මෙන්න ඒ බල සූත්‍රය.“

RSL

Related Posts