හමුදාව උතුරේ ජනතාවට උපකාර කරන්නේ යුද අපරාධ චෝදනාවලින් නිදහස් වෙන්න ප්‍රෝඩාවක්

Spread the love

ගංවතුරෙන් විපතට පත් වූ උතුරේ වැසියන්ට ආරක්ෂක අංශ සාමාජිකයන් විසින් උදවු උපකාර කරන ලද්දේ ලංකාවේ ආරක්ෂක අංශවලට එරෙහිව පවතින යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීමට යැයි උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් පසුගියදා (29දා) කිලිනොච්චියේදී පැවැසීය.

සී.වී. විග්නේශ්වරන් මහතා එසේ පැවැසුවේ ගංවතුරෙන් විපතට පත් වූවන්ට උදවු කිරීම සඳහා ඔහුගේ දේශපාලන පක්ෂ වන දමිළ ජනතා සන්ධානය හරහා ජනතා සහන සංවිධානය නමින් නව සංවිධානයක් කිලිනොච්චියේදී පිහිටුවන ලද අවස්ථාවේදීය.

මේ අවස්ථාවේදී විග්නේශ්වරන් මහතා කියා සිටියේ, ආරක්ෂක අංශ ඔවුන්ට එරෙහිව නැඟී ඇති යුද අපරාධ චෝදනාවලින් නිදහස් වීම සඳහා එසේ ගංවතුරෙන් විපතට පත්වූවන්ට සහන සලසන ලද නමුත් ජාත්‍යන්තර ප්‍රජාව හා ජිනීවා මානව හිමිකම් මණ්ඩලය ඊට රැවටෙනු ඇතැයි තමන් නොසිතන බවය.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවැසීය.

ආරක්ෂක අංශවලට උතුරේ බලහත්කාරයෙන් රැඳී සිටීමට දැඩි වුවමනාවක් ඇති නිසා ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමේ අරමුණින් ඔවුන් ගංවතුර විපතට පත් වූවන්ට සැලකීම් කළා.
මේ අවස්ථාවේදී ගංවතුර හේතුවෙන් විපතට පත් වූ පිරිසට උදවු උපකාර කිරීම සඳහා මුළු ලෝකයේම සිටින ප්‍රජාව ඉදිරිපත්ව සිටිනවා. එම ආධාර ජනතාවට නිසි ලෙස බෙදා දීම සඳහා මේ නව සංවිධානය බිහි කර ගත්තා.

සුනාමි ව්‍යසනය අවස්ථාවේදී උතුරේ ජනතාව බේරා ගන්න ලද්දේ ආරක්ෂක අංශ නෙවෙයි. උතුරේම ජනතාවයි. ඉන් පසුවත් විපතට පත් ජනතාවට නැඟී සිටීමට උදවු උපකාර කළේ ආණ්ඩුවට වඩා ලෝකය පුරාම පැතිරී තිබෙන දෙමළ සංවිධානයි.

උතුරු පළාතට මෙවැනි උවදුරු සිදුවන අවස්ථාවලදී ආණ්ඩුව හා ඊට සම්බනධ පුද්ගලයෝ කැපී පෙනෙන්නට උත්සාහ දරනවා මිස ජනතාවට සේවයක් කරන්නේ නැහැ. මේ තත්ත්වය වෙනස් වීමට නම් උතුරු නැඟෙනහිර දේශපාලන ව්‍යුහය මීට වඩා ශක්තිමත් එකක් විය යුතුයි.

දේශපාලනමය වශයෙන් යම් අසාධාරණයක් සිදුවන විට ඊට සහනයක් ලබා ගැනීමට ඇති එකම ස්ථානය මේ රටේ ශේ‍ර්ෂ්ඨාධිකරණයයි. ශ්‍රී ලංකාවේ ශේ‍ර්ෂ්ඨාධිකරණය මෙන්ම සෙසු අධිකරණයන්ද මීට වඩා බලාත්මක කළ යුතුයි.

RSL

Related Posts