කෝප් කමිටුවට ගිය ජපුර පොත් හොරකම යට යන ලකුණු

Spread the love

ශ‍්‍රී ජයවර්ධනපුර සරසවියේ සමාජවිද්‍යා අංශයේ දැනට අංශාධිපති තනතුර දරන ආචාර්යවරයා මහාචාර්ය තනතුර ලබාගැනීම සඳහා ඉදිරිපත් කළ පොත් සියල්ලම උපාධි අපේක්ෂක ශිෂ්‍යාවකගේ හා වෙනත් ලේඛකයන්ගේ පොත්වලින් සොරකම් කර ලියන ලද ඒවා බවට චෝදනාවක් එල්ල වී තිබුණි. මේ සම්බන්ධයෙන් ආචාර්යවරු පිරිසක් විසින් සරසවියේ සනාතන සභාවටද කරුණු ඉදිරිපත් කොට තිබුණු නමුත් එකල සිටි උපකුලපති හා පීඨාධිපති මැදිහත් වී ඒ සම්බන්ධ විමර්ශණ සිදුකිරීම වලක්වන ලදී.

කෙසේ වුවත් පසුගිය දා කෝප් කමිටුව විසින් මේ සම්බන්ධ පරීක්ෂණයක් පවත්වන ලෙස සරසවි බලධාරීන්ට නියෝගකොට තිබුණි. ඒ අනුව පාලක සභාව විසින් පරීක්ෂක මණ්ඩලයක් නම් කොට ඇතත් එම පරීක්ෂකවරුන්ගේ අවංක භාවය හා විනිවිද භාවය ගැන සැක පහළවී තිබේ. මේ පරීක්ෂක මණ්ඩලයට පත් කොට ඇති සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරයා චෝදනා එල්ල වී ඇති ආචාර්යවරයා සමග සමීපයෙන් කටයුතු කරන්නෙකි. මේ වන විටත් ඔහු ජපුර සමාජවිද්‍යා අංශයේ පශ්චාත් උපාධි සම්බන්ධ පරීක්ෂකයෙක් ලෙස පත්කර සිටී.

පසුගිය රජය සමයේ දැඩි ආන්දෝලනයකට ලක් වූ පශ්චාත් උපාධි පරීක්ෂණයකටද මේ මහාචාර්යවරයා සම්බන්ධ වූ අතර එහිදී ඔහු තමා විභාග පරීක්ෂක වශයෙන් කටයුතු කරන අපේක්ෂකයාගේ පර්යේෂණ සැලසුම් හා සම්මන්ත‍්‍රණ පත‍්‍රිකා ලියාදීමද සිදු කළ බවට චෝදනා එල්ලවී තිබුණි. එවැන්නෙකුගෙන් මෙවැනි පරීක්ෂණයක් අපක්ෂපාතීව සිදු වේදැයි සැක සහිතය. පරීක්ෂණ මණ්ඩලයට පත්කර ඇති අනික් මහාචාර්යවරයා හා මහාචාර්යවරිය සමාජවිද්‍යාව සම්බන්ධ අයවළුන් නොව ආර්ථිකවිද්‍යාව සම්බන්ධ අයවළුන් වීමද මේ පරීක්ෂණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් සැක උපදවන තත්වයකි.

මෙවැනි පරීක්ෂණයක් සිදු කරන විට අදාළ චෝදනාවට ලක් වී සිටින තැනැත්තා පරික්ෂණ අවසන් වනතුරු පරිපාලන කටයුතුවලින් ඈත් කොට තැබිය යුතු නමුත් තවමත් මෙම ආචාර්යවරයා සමාජවිද්‍යා අංශයේ අංශාධිපති වශයෙන් කටයුතු කරමින් සිටී. චෝදනාවට අදාළ ලේඛන ලබාගෙන ඇත්තේ ඔහුගෙන්ම බවද සරසවි ආරංචිමාර්ග වලින් හෙළි වෙයි. මෙම තත්වයද මෙම පරීක්ෂණවල අවංකභාවය සම්බන්ධයෙන් සැක උපදවන කරුණක් වී තිබේ.

RSL

Related Posts