සියල්ල අභිබවමින් ‘ජනපතිට කියන්න’ ඊ ස්වාභිමානී රන් සම්මානය දිනාගනී

Spread the love

දෙස් විදෙස් ශ්‍රී ලාංකීය ජනතාවගේ ප්‍රශ්න ගැටලු සෘජුව ජනාධිපතිවරයා වෙත යොමුකරමින් විසඳුම් ලබාදීම වෙනුවෙන් ජනාධිපති කාර්යාලය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ‘ජනපතිට කියන්න’ වැඩසටහන 2017 ‘ඊ ස්වාභිමානී’ රාජ්‍ය සහ මහජන සබඳතා අංශයේ රන් සම්මානය දිනා ගැනීමට සමත්ව ඇත.

ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) මඟින් ඩිජිටල් අන්තර්ගතයන් නිර්මාණය කිරීම අගය කිරීම සඳහා ආරම්භ කරන ලද ඊ ස්වාභිමානී රාජ්‍ය සම්මාන ප්‍රදානයට සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ක්‍රියාත්මක ඩිජිටල් වැඩසටහන් අධීක්ෂණයට ලක්කොට ඒ අතරින් තෝරා ගන්නා හොඳම ඩිජිටල් වැඩසටහන් ව්‍යාපෘතිය සඳහා මෙම සම්මානය ප්‍රදානය කරනු ලබයි.

ඊ ස්වාභිමානී සම්මාන ප්‍රදානයේදී රාජ්‍ය සහ පෞද්ගලික ආයතන මඟින් ජනතාවට තම සේවා සහ පහසුකම් සැපයීම වෙනුවෙන් ක්‍රියාත්මක ඩිජිටල් වැඩසටහන් හි පද්ධති සැකසුම්, ක්‍රියාත්මක ක්‍රමවේදයන්, පරිශීලක පහසුව, කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය යන කරුණු සම්බන්ධයෙන් මෙහිදී මුලික අවධානය යොමුකර ඇත.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අදහසට අනුව ජනතාවගේ නොවිසඳුනු ප්‍රශ්න සහ ගැටලු කඩිනමින් විසඳීම සඳහා ආරම්භ කරන ලද මෙම ‘ජනපතිට කියන්න’ වැඩසටහන සඳහා භාවිතා කරන ඩිජිටල් මෘදුකාංගය ජනාධිපති කාර්යාලයේ අවශ්‍යතාවය මත ශ්‍රී ලංකා මොබිටෙල් සමාගම විසින් නිර්මාණය කොට සංවර්ධනය කරන ලද්දකි.

‘ජනපතිට කියන්න’ ව්‍යාපෘතිය ජනාධිපති සම්බන්ධීකරණ ලේකම් නීතිඥ ශිරාල් ලක්තිලක මහතාගේ සහ මහජන සබඳතා අංශයේ ප්‍රධානී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම මහතාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වේ.

ශ්‍රී ලංකා තොරතුරු සහ තාක්ෂණික නියෝජිතායතනය (ICTA) විසින් සංවිධානය කළ ‘ඊ ස්වාභිමානී 2017’ සම්මාන උළෙලේ දී ‘ජනපති කියන්න’ සඳහා වන සම්මානය ලබාගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය නියෝජන කරමින් එහි ව්‍යාපාර විසදුම් අංශ ප්‍රධානී චමිත් හෙට්ටිආරච්චි සහ ව්‍යාපාර විශ්ලේෂණ කළමනාකරු චමිල ඉලංගකෝන් යන මහත්වරුන් සහභාගී වූ අතර ජනාධිපති කාර්යාලය නියෝජනය කරමින් ජනාධිපති ජේෂ්ඨ සහකාර ලේකම් සමන්ති රණසිංහ මහත්මිය සහ ජනාධිපති මාධ්‍ය අංශයේ සහකාර අධ්‍යක්ෂ ශාලික රණතුංග මහතා සහභාගී විය.

ජනතාවගේ නොවිසඳුනු ගැටලු විසඳන ‘ජනපතිට කියන්න’

රන් සම්මාන දිනූ ‘ජනපතිට කියන්න’ වැඩසටහන යනු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පළමු වර්ෂ පුර්ණය වෙනුවෙන් ජනාධිපතිතුමා විසින් වර්ෂ 2016 ජනවාරි 08 වන දින මෙම ‘ජනපතිට කියන්න’ වැඩසටහන හඳුන්වා දෙන ලදී.

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරමින් මහජන ගැටලු, දුක්ගැනවිලි සහ අදහස් හා ‍යෝජනා අතිගරු ජනාධිපතිතුමා වෙත කාර්යක්ෂමව හා සරලව ඉදිරිපත් කිරීමට සහ ඊට කඩිනමින් ඵලදායීව ප්‍රතිචාර දක්වමින් විසඳුම් ලබා දීමට පහසුකම් සැලසීම මෙම වැඩසටහනේ අරමුණ වේ.

මහජනතාවට 1919 දුරකථන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි, දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව ‘ජනපතිට කියන්න’ වැඩසටහන හරහා ලබා දී ඇත.

මෙයට ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශය මඟින් පරික්ෂා කෙරෙන අතර එහිදී එම පැමිණිලි, දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.

ඉහත සියලු කටයුතු නව තාක්ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්ෂමව ක්‍රියාත්මක වේ.

දැනට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව: 164504
විසඳා අවසන් කල පැමිණිලි සංඛ්‍යාව: 62351
විසඳමින් පවතින පැමිණිලි සංඛ්‍යාව: 59351
පරික්ෂා කිරීමට ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව: 16895

ජනපතිට කියන්න වැඩසටහන හා සම්බන්ධ විය හැකි ආකාර

1. 1919 දුරකථන අංකය ඇමතීමෙන්
2. http://tell.president.gov.lk වෙබ් අඩවියට පිවිසීම මගින්
3. තැපැල් පෙට්ටි අංක 123, කොළඹ යන ලිපිනයට ලිපි එවීම මගින්
4. tell@presidentsoffice.lk යන ලිපිනයට විද්‍යුත් පණිවුඩයක් එවීම මගින්
5. ජංගම දුරකථන මෘදුකාංගය භාවිතයෙන්

RSL

Related Posts