ජාලියගේ පවුල පිටින් අල්ලන්න අධිකරණ නියෝගයක්!

Spread the love

ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති ජාලිය වික්‍රමසූරිය මහතාව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවිය පෙරේදා (31) නැවත විවෘත වරෙන්තු නිකුත් කළාය.

ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේදී ඇප වූ ඔහුගේ බිරිඳ හා ඥති සොහොයුරිය අත්අඩංගුවට ගැනීමට ද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නැවත වරෙන්තු නිකුත් කළාය.

ජාලිය වික්‍රමසූරිය මහතාගේ හා ඔහුගේ බිරිඳගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුම්, ආරක්‌ෂිත සේප්පු හෝ මූල්‍ය තැන්පතු සම්බන්ධයෙන් විස්‌තර විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී රාජ්‍ය බැංකු, රාජ්‍ය නොවන බැංකු හා මූල්‍ය ආයතන 79 කට නියෝග කළාය. ඔවුන් දෙදෙනා නමින් මිලදීගෙන ඇති වාහන සම්බන්ධයෙන් සවිස්‌තර වාර්තා විමර්ශන නිලධාරීන්ට ලබාදෙන ලෙසටද මහෙස්‌ත්‍රාත්වරිය එහිදී මෝටර් රථ කොමසාරිස්‌වරයාට නියෝග කළාය.

ජාලිය වික්‍රමසූරිය මහතා ඇමරිකාවේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කළ සමයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය විසින් ලබාදුන් රුපියල් කෝටි ගණනක මුදලින් කොටසක්‌ අයුතු ලෙස ලබාගෙන ඇති බවටත්, එකී කාලය තුළදී නීති විරෝධී අන්දමින් පුද්ගලයන් විදේශගත කර ඇති බවට මෙන්ම තානාපති කාර්යාලය අලුත්වැඩියා කිරීම සඳහා ලබාදුන් මුදල් ද අයුතු ලෙස පරිහරණය කර ඇති බවට පැමිණිලි ලැබී ඇති බව පෙන්වා දෙමින් විමර්ශන නිලධාරීන් කළ කරුණු දැක්‌වීමක්‌ සලකා බැලූ මහෙස්‌ත්‍රාත්වරිය එම නියෝගය කළාය.

සැකකරු විදේශගත වනවිට ඇපයක්‌ ලෙස අධිකරණයට ඉදිරිපත් කළ ඔහුගේ ඉඩම රාජසන්තක කරන ලෙස එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටි අතර එම ඉල්ලීමට විත්තියේ නීතිඥවරුන් විරෝධය දැක්‌විය.

එම සැකකරු මෙන්ම ඔහු වෙනුවෙන් ඇප වූ ඔහුගේ බිරිඳ හා අනෙක්‌ සැකකාරිය ද අධිකරණය මඟහැර සිටීම හා අදාළ නෛතික කරුණු සලකා ඉදිරි දිනයේ දී ඒ සම්බන්ධයෙන් තීන්දුව නිකුත් කරන බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය එම නඩුව ලබන 27 වැනිදා දක්‌වා කල්තැබීමට නියෝග කළාය.

RSL

Related Posts