ISIS නායකයා මිය ගිය බව තහවුරුයි

Spread the love

අයි.එස්. ත්‍රස්තවාදී සංවිධානයේ නායක අබු බකර් අල් බග්ඩාඩි, අමෙරිකානු ප්‍රහාරයකින් මියගොස් ඇති බවට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර ඇත.

සිරියාවේ වයඹදිග ප්‍රෙද්ශයට එල්ල කෙරුණු ප්‍රහාරයකින් IS නායක අබු බකර් අල් බග්ඩාඩි, ඊයේ රාත්‍රියේ අමෙරිකානු විශේෂ මෙහෙයුමක් අතරතුර මියගිය බවට අද විදෙස් මාධ්‍ය රැසක් වාර්තා කළේය.

ඇතැම් වාර්තාවල දැක්වුණේ මෙහෙයුම අතරතුරදී බග්ඩාඩි, මරාගෙන මැරෙන ජැකට්ටුවක් පුපුරවාගනිමින් දිවිනසාගත් බවයි.

විශේෂ බුද්ධි තොරතුරක් මත IS නායකයා සිටින බවට සැක කෙරෙන ස්ථානයක අමෙරිකානු හමුදා විසින් වැටලීමක් සිදුකළ බව පමණක් අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත.

මේ අතර ඊයේ රාත්‍රියේ සිදුකළ අදාළ මෙහෙයුමේ බවට පැවසෙන වීඩියෝ පටයක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

ඉරාකයේ උතුරුදිග සමාරා නගරයේදී 1971 වර්ෂයේ උපත ලද ඊබ්‍රහිම් අවාද් අල්- බද්‍රි මේ වන විට මුළු ලොවම හඳුනන්නේ අබු බකර් අල් බග්ඩාඩි යන නමින්.

2006 වසරේදී ඉස්ලාමික් ස්ටේට් ඔෆ් ඉරාක් හෙවත් “අයි එස් අයි ” ලෙසට සංවිධානය වන බග්ඩාඩි එහි නායකත්වයට පත්වන්නේ 2010 වසරේදී.

ඉරාකය සහ සිරියාව කේන්ද්‍ර කරගනිමින් ඉස්ලාම් අධිරාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා ප්‍රතිඥා දී ඇති බග්ඩාඩි සිය මතවාදය ලොව රටවල් රැසකම පැතිරවීමට උත්සාහ දරමින් සිටියේය.

2017 එංගලන්තයේ ලන්ඩන් පාලම මත සිදු වූ මිනිස් ඝාතනය,මේ වසරේ මාර්තු මස දී නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් දේව මෙහෙය අතරතුර සිදුවූ මිනිස් ඝාතනය ඇතුළු සිද්ධිවලදී විදෙස් වාර්තා පෙන්වා දුන්නේ IS සංවිධානයේ මතවාදය වෙනුවෙන් අන්තවාදීන් එම ඝාතන සිදු කළ බවයි.

ලොවම කළඹමින් පසුගිය අප්‍රේල් 21 වැනිදා පාස්කු දිනයේදී ශ්‍රී ලංකාවේ සිදු වූ ම්ලේච්ඡ ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් ඇතුළු අන්තවාදීන් ද IS සංවිධානයේ මතවාදය වෙනුවෙන් පෙනී සිටි බවට ද තොරතුරු හෙළි වුණි.

මෙරට ඇතැම් පිරිස් IS සංවිධානයේ පුහුණුව ලබා ඇති බවට ද අවස්ථා රැසකදී තොරතුරු අනාවරණ වුණි.

IS නායක අබු බකර් බග්ඩාඩි මියගිය බවට අවස්ථා කිහිපයකදී වාර්තා පළ වුවත් එම වාර්තා අසත්‍ය බවට පත් කරමින් වසර කිහිපයකට පසු අබු බකර් අල් බග්ඩාඩි යළි කරළියට පැමිණියේද පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුවයි.

ඔහු නිකුත් කළ වීඩියෝව පසුගිය අප්‍රේල් මාසයේ පටිගත කරන ලද්දක් බව කියැවුණු අතර වීඩියෝව අවසානයට අයි එස් නායකයා ශ්‍රී ලංකාවේ පාස්කු ප්‍රහාරය ගැන අදහස් දක්වන හඬපටයක්ද ඇතුළත් කර තිබුණි.

සිරියාවේ බාගුස් හි බලය අහිමිවීමට ප්‍රතිප්‍රහාර වශයෙන් ශ්‍රී ලංකාවට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කළ බවයි එම හඬපටයේ සඳහන් වුණි. ඒ අනුව ලොවට වඩාත්ම අවශ්‍යකර සිටින ත්‍රස්තවාදී නායකයා හෙවත් world’s most wanted man ලෙසයි අබු බකර් අල් බග්ඩාඩි හැඳින්වුණේ.

RSL

Related Posts