ජාත්‍යන්තර වෙසක් උළෙල අද සිට..

Spread the love

ශ්‍රී ලාංකීය බෞද්ධ වංශ කතාවේ ස්වර්ණමය පරිචේඡේදයක සමාරම්භය සනිටුහන් කරන එක්සත් ජාතීන්ගේ ජාත්‍යන්තර වෙසක් උළෙල ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දී අද (12) ආරම්භ වෙයි.

කොළඹ, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පෙරවරු 9.00 ට ආරම්භ වන ජාත්‍යන්තර වෙසක් උළෙල එළඹෙන 14 දා තෙක් පැවැත්වීමට නියමිත අතර එය ‘සමාජ සාධාරණත්වය හා තිරසාර සාමය උදෙසා බෞද්ධ ඉගැන්වීම්’ යන්න තේමාව කරගනිමින් පැවැත්වේ.

ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ආරාධනයකට අනුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා මේ අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සම්බන්ධ වන අතර ඊට අමතරව නේපාල ජනාධිපතිනී බිද්යා දේවි භණ්ඩාරි මහත්මිය ද විශේෂ ආරාධිතයෙකු වශයෙන් සහභාගි වෙයි. ලෝකයේ බෞද්ධ රටවල් ඇතුළුව රටවල් 80 ක රාජ්‍ය නායකයන් හා විශේෂ නියෝජිතයන් 1,000 ක් පමණ ජාත්‍යන්තර වෙසක් උළෙල සඳහා සහභාගි වන අතර ඊට අමතරව නියෝජිතයන් 250දෙනෙකු පමණ නරඹන්නන් වශයෙන් සහභාගීවීමට නියමිතය.

ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ දී පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින සැමරුම් උලෙළ වෙනුවෙන් රජය විසින් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබෙන අතර පසුගිය වසරේ තායිලන්තයේ පැවති එක්සත් ජාතීන්ගේ වෙසක් දින උළෙලට සහභාගී වූ ශ්‍රී ලංකා නියෝජිත කන්ඩායම විසින් මීළඟ උළෙල ශ්‍රී ලංකාවේ පවත්වන ලෙස කළ ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් එක්සත් ජාතීන්ගේ 14 වන වෙසක් උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීමට අවස්ථාව උදාවී තිබේ.

ජාත්‍යන්තර වෙසක් උත්සවය සඳහා සහභාගි වීමෙන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා ඉන්දීය රජයේ ආධාර මත හැටන්, දික්ඔය රෝහලේ ඉදිකරන ලද නව ගොඩනැගිලි සංකීර්ණය ජනතා අයිතියට පත්කිරීමේ උළෙල සඳහා සහභාගි වන අතර නෝවුඩ් ඩන්බාර් ප්‍රදේශයේ පැවැත්වෙන මහජන රැලියකට ද සහභාගි වෙයි. මේ ජනහමුව සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ද සහභාගි වීමට නියමිතයි. එයින් අනතුරුව නරේන්ද්‍ර මෝදි මහතා මහනුවර ඵෙතිහාසික ශ්‍රී දළඳා සමිඳුන් වැඳපුදා ගැනීමට නියමිතව තිබේ.

ඒ අනුව ශ්‍රී ලංකා සංචාරය සාර්ථකව නිමා කරන ඉන්දීය අගමැති නිරේන්ද්‍ර මෝදි මහතා අද (12) පස්වරු 3.00 ට පමණ ශ්‍රී ලංකාවෙන් බැහැරව යාමට නියමිතයි.

බුදුන් වහන්සේගේ උත්පත්තිය, බුදුවීම හා පිරිනිවන් පෑම යන තෙමඟුල සිදු වූ වෙසක් පුන් පොහෝ දිනය ජාත්‍යන්තර නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන මෙන් එවකට ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ඇමතිවරයාව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කළ අංක 54/115 දරණ මහා මණ්ඩල යෝජනාව 1999 වසරේ දෙසැම්බර් මස 15 වැනිදා එම සංවිධානය විසින් අනුමත කරනු ලැබීය. ඒ අනුව 2002 වසරේ සිට එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් එක්සත් ජාතීන්ගේ වෙසක් දිනය හා ජාත්‍යන්තර නිවාඩු දිනය ක්‍රියාත්මක කරන ලදී. ඒ සඳහා එක්සත් ජාතීන්ගේ වෙසක් දින කමිටුවක් තායිලන්තය කේන්ද්‍රකොට පිහිටුවනු ලැබීය. එතැන් පටන් ලෝකයේ විවිධ රටවල සහභාගීත්වයෙන් සෑම වසරකම එක්සත් ජාතීන්ගේ නිල වෙසක් උත්සවය මේ වනවිට 11 වතාවක් තායිලන්තයේ ද, දෙවතාවක් වියට්නාමයේ ද පවත්වා ඇත.

ප්‍රථම ජගත් වෙසක් උළෙල 2000 වසරේ දී රටවල් 34ක සහභාගීත්වයෙන් නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී පවත්වනු ලැබූ අතර වෙසක් දිනය එක්සත් ජාතීන්ගේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවේ පසුගිය වසරේ දී ය.

RSL

Related Posts