දින 14ක් තුළ ශ්‍රී ලංකාව GSP+

Spread the love

රටේ ආර්ථිකයට දැවැන්ත ශක්තියක් වෙමින් ශ්‍රී ලංකාවට යළිත්වරක් ජී.එස්.පී බදු සහනය පිරිනැමීම සඳහා වන යුරෝපා සංගමයේ විදේශ හා වෙළෙඳ අමාත්‍ය සංගමයේ අනුමැතිය ඊයේ(11) හිමිවීමත් සමඟ එම සහනය ලබාගැනීමට අවශ්‍ය සියලු අනුමැතියන් මේ වනවිට හිමිව තිබේ.

ශ්‍රී ලංකාවට ජී.එස්.පී. ප්ලස් සහනය නැවත ලබාදීම සඳහා යුරෝපා කොමිසම, යුරෝපා පාර්ලිමේන්තුව හා එහි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදිය යුතුව තිබූ අතර ඒ සියල්ලේ අනුමැතිය හිමිවීමත් සමඟ අදාළ සහනය ශ්‍රී ලංකාවට හිමිවන බවද ඒ සම්බන්ධයෙන් වන ගැසට් නිවේදනය ඉදිරි දින 14ක කාලයක් ඇතුළත යුරෝපා සංගමය විසින් නිකුත් කරනු ඇති බවද විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ‘දිනමිණ’ ට ප්‍රකාශ කළේය.

යුරෝපා සංගමය විසින් ජාත්‍යන්තර සම්මුතීන් 27ක් කෙරෙහි සිය සැලකිල්ල යොමුකළ අතර ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලබා තිබෙන ප්‍රගතිය හේතුවෙන් මේ සහනය යළිත්වරක් ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබෙන අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත භාණ්ඩ 6,400ක් වෙනුවෙන් තීරු බදු සහනය හිමිවෙයි. ජී.එස්.පී සහ වෙළඳ පංගුව ශ්‍රී ලංකාවේ සමස්ත අපනයනයෙන් සියයට 36ක තරම් විශාල පංගුවක් හිමිකර ගෙන තිබෙන යුරෝපා වෙළඳපොළ ශ්‍රී ලංකාවේ අපනයනය සඳහා ඇති විශාලතම වෙළඳපොළ වෙයි.

ජී.එස්.පී බදු සහනය යටතේ ලංකාවේ අපනයන භාණ්ඩ වර්ග 6400කට තීරු බදු සහනය හිමිවීම ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් සුවිශේෂී තත්ත්වයකි. ශ්‍රී ලංකාවේ සමස්ත ඇඟලුම් අපනයනයෙන් සියයට 46ක් මිලදී ගනු ලබන්නේ යුරෝපා වෙළඳපොළ වන අතර මෙහිදී වඩාත් වැදගත් කරුණ වන්නේ ලංකාවේ ලක්ෂ 15කට අධික ජනතාවක් සිය ජීවනෝපාය සකසා ගනුලබන්නේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව වීමයි. 2005 වසරට පෙර ලංකාවේ සමස්ත රෙදිපිලි අපනයනයේ වාර්ෂික වර්ධනය ප්‍රතිශතය සියයට 1ක්ව පැවැති අතර ජී.එස්.පී බදු සහනය හිමිවීමෙන් පසු එය සියයට 16ක් දක්වා වර්ධනය විය. එමඟින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිත රැකියා දස දහස් ගණනින් නිර්මාණය විය.

යුරෝපා සංගමයේ ජී.එස්.පී. සහනය පසුගිය 2010 වසරේ දී ශ්‍රී ලංකාවට අහිමි වූ අතර යළි එම සහනය ලබාගැනීම සඳහා වත්මන් රජය විසින් අවශ්‍ය ක්‍රියාමාර්ග ගනු ලැබීය. ඒ අනුව වැසීගිය කර්මාන්ත ශාලා යළි ආරම්භ කරමින් තරුණ තරුණියන් විශාල ප්‍රමාණයකට රැකියා අවස්ථා ලබාදීමට හැකියාව ලැබෙන බව අතර මේ බදු සහනය යළිත් වරක් හිමිවීම ශ්‍රී ලංකා ආර්ථිකයට මෑතක දී හිමිවන විශාලතම ශක්තිය බවද නියෝජ්‍ය විදේශ කටයුතු ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

කලාපීය වශයෙන් නැඟී සිටිමින් ආර්ථික වර්ධනය කරා පියමන් කරන ශ්‍රී ලංකාවට යළිත් වරක් හිමිවීමට නියමිතව තිබෙන ජී.එස්.පී සහනය ලබාදීමට විරෝධය පළකරමින් යුරෝපා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව සඳහා වූ ඡන්ද විමසීම පසුගිය 27 දා එරට පාර්ලිමේන්තුවේ දී පැවැති අතර එය වැඩි ඡන්ද 317කින් පරාජයට පත්විය. ශ්‍රී ලංකාව මානව හිමිකම් ඇතුළු ක්ෂේත්‍ර රැසක ප්‍රමාණවත් ප්‍රගතියක් පෙන්නුම් කර නොමැති බව සඳහන් කරමින් මන්ත්‍රීවරුන් පනස් දෙදෙනකුගෙන් සැදුම්ලත් එක්සත් යුරෝපා වමේ සහ උතුරු යුරෝපා හරිත වමේ ඒකාබද්ධ කණ්ඩායම විසින් එම යෝජනාව ඉදිරිපත් කර තිබෙන අතර එම යෝජනාව පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාවට යළිත් වරක් ජී.එස්.පී සහනය ලබාදිය යුතු බවට යුරෝපයේ මන්ත්‍රීවරු 436 දෙනකු සිය ඡන්දය ලබාදී තිබේ.

එම යෝජනාවට පක්ෂව ඡන්ද 119ක් ලබාදී තිබෙන අතර මන්ත්‍රීවරු 22 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටි බවද බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි. යම් හෙයකින් ඡන්ද 373ක් ලබා ගනිමින් එය සම්මත වූයේ නම් ශ්‍රී ලංකාවට මේ වසරේ ජී.එස්.පී සහනය අහිමිවීමේ අවදානමක් මතුවිණි. ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිය ඉවත්කිරීම, අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලය පිහිටුවීම, වැරදිකරුවන්ට දඬුවම් නොකිරීම සහ වද බන්ධන පැණවීම පිළිබඳව පියවර ගැනීම සහ සමලිංගික සේවනය නීති විරෝධී බව දැක්වෙන වගන්තිය ඉවත්කිරීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් යුරෝපා පාර්ලිමේන්තුවට අදාළ යේජනාව ඉදිරිපත් කෙරිණි.

කෙසේ වුවද බ්‍රසල්ස් හි නිල සංචාරයක නිරතවූ විදේශ කටයුතු නියෝජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ජී.එස්.පී ප්ලස් බදු සහනය ශ්‍රී ලංකාවට ලබාගැනීම සම්බන්ධයෙන් අදාළ යෝජනාව ඉදිරිපත් කරන ලද මන්ත්‍රී කණ්ඩායම ඇතුළුව යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් සමඟ සාකච්ඡා පවත්වමින් ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සහ රජය විසින් ගෙන තිබෙන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් පැහැදිලි අවබෝධයක් ලබාදුන් අතර එහි ප්‍රතිඵලයක් වශයෙන් මේ ජයග්‍රහණය ලබාගැනීමට හැකිව තිබේ. ශ්‍රී ලංකාවේ නිෂ්පාදන මත පනවා තිබූ ආනයන බදු ඉවත් කරමින් ජී.එස්.පී ප්ලස් සහනය නැවත ලබාදීමට යෝජනා කර ඇතැයි යුරෝපා කොමිසම ඉකුත් ජනවාරි (11) නිවේදනය කළේය.

මානව හිමිකම්, කම්කරු නීති, යහපාලනය සහ පරිසරය ආරක්ෂා කිරීම යන ක්ෂේත්‍ර මත පදනම් වෙමින් ජාත්‍යන්තර සම්මුතීන් 27 ක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කිරීමත් ශ්‍රී ලංකා ආණ්ඩුවේ කැපවීමත් සලකා බලමින් යුරෝපා කොමිසම මේ තීරණය ගෙන තිබෙන අතර ජී.එස්.පී ප්ලස් බදු සහන සම්බන්ධයෙන් යුරෝපා පාර්ලිමේන්තුවේ තීරණය යුරෝපා කොමිසමට දැනුම්දීමෙන් අනතුරුව යුරෝපා කොමිසම විසින් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය දැනුම් දීමට නියමිත බවද බ්‍රසල්ස් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි.

යුරෝපීය රටවල් 28 කට අයත් මන්ත්‍රීවරු 751 දෙනෙකුගෙන් යුරෝපා පාර්ලිමේන්තුව සමන්විත වෙයි.

RSL

Related Posts