ඉන්දියාව හා අත්සන් කරන්නට වලිකන භාණ්ඩ හා සේවා ගිවිසුම නිසාවෙන් රටෙහි මතුව ඇත්තේ යම් කිසි ඉන්දියානු විරෝධී මතවාදයකි. භාණ්ඩ හා සේවා ගිවිසුමක් යනු ගෝලීයකරණ යුගයක සරල දෙයක් නොවේ. කිසිදු රටක් අනුන්ගේ වාසියට ගිවිසුම් අත්සන් කරන්නේ නැත. අජිත් පී. පෙරේරා වැනි ඇමැතිවරුන් මාධ්‍ය ඉස්සරහට වී කියන්නේ, ඉන්දියානු සිනමාව/ගීත හොඳනම් ගිවිසුම නරක ද කියා ය. මේවා අන්තිම ගොං පාට් කතා ය.
මේ කලිකලහය අස්සේ, ඉන්දියාවෙන් මෙරට ක්‍රියාත්මක කරන්නට යන ගිලන්රථ සේවය ගැන ද විවිධ කතා බහක් ඇති වෙමින් යයි. හදිසි අනතුරක දී දුරකතන ඇමතුමකින් ගිලන්රථයක් ගෙන්වා ගැනීමේ සේවාවක් රටකට ඉතා හොද බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් ඒ ගිලන් රථ ක්‍රියාත්මක වන ප්‍රදේශවල සියලු දත්ත ලබා ගැනීම ආදිය යම් සැක සංකාවන් උපදවන කරුණු ය. අනෙක් අතට මේ ගිලන් රථ සඳහා බඳවාගන්නා අයට සම්මුඛ පරික්ෂණ සඳහා කැඳවා ඇත්තේ 9 වැනි දින දැන්වීමක් පළ කරමින් 10 වැනි දිනයේ ය. ඒ හරහා පූරණය කළ නොහැකි වන පුරප්පාඩුවලට ඉන්දියාවෙන් සේවකයන් ගෙන්වීමේ වෑයමක් ගැන ද කියැවේ.
යහපාලන ආණ්ඩුව පත් කරගත්තේ රාජ්‍ය පාලනය විනිවිදභාවයෙන් කිරීම වෙනුවෙනි. දැන් බොහෝ අයට ඒ බව අමතක වෙමින් යනු දක්නට ලැබේ.