මූල්‍ය අරමුදලේ ඩොලර් මිලියන 265ක ණය වාරිකයත් ලැබෙයි

Spread the love

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟතාවය පළ කළ අමෙරිකානු ඩොලර් මිලියන 1500ක ණය මුදලේ තුන්වැනි වාරිකය ඩොලර් මිලියන 265ක මුදල මෙරටට ලබාදීමට ඊයේ (08) තීරණය කර ඇත.

වසර 2016 – 2019 කාලපරිච්ඡේදය ඇතුළත මේ ණය මුදල වාරික හයක් යටතේ ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව පළ කෙරිණි.

ශ්‍රී ලංකාවේ වෙළෙඳ හිඟය අඩුකර ගැනීමට සහ විදේශ සංචිතය ඉහළ නංවා ගැනීමට මේ තුන් අවුරුදු මූල්‍ය ප්‍රදානය යොදා ගන්නා බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක සභාව ප්‍රකාශ කර සිටී.

ඉකුත් වසරේ ජූනි මාසයේ දී මාස 36ක් සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ඩොලර් බිලියන 1.5ක ණය මුදලක් ලබාදීමට තීරණය කරන ලද අතර, එහි පළමු වාරිකය පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ද දෙවැනි වාරිකය ලෙස එක්සත් ජනපද ඩොලර් මිලියන 167.2ක් පසුගිය ජූලි මාසයේදී ද ශ්‍රී ලංකාවට හිමි විය. කාර්තු වශයෙන් කෙරෙන නිරීක්ෂණ යටතේ වාරික හයකදී සම්පූර්ණ ණය මුදල ශ්‍රී ලංකාවට හිමිවීමට නියමිතය.

තෙවැනි ණය වාරිකය ලබාදීම සලකා බැලීම සඳහා අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ දූත පිරිසක් ඉකුත් ඔක්තෝබර් මාසයේදී ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ අතර, ඔවුන් සැපයූ වාර්තාව සැලකිල්ලට ගනිමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය ශ්‍රී ලංකාවට තෙවැනි ණය වාරිකය ලබාදීම සඳහා අනුමැතිය ලබාදී තිබේ.

මේ ණය මුදලත් සමඟ අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාව වෙත ලබාදී තිබෙන සම්පූර්ණ ණය මුදල අමෙරිකා එක්සත් ජනපද ඩොලර් මිලියන 760කි.

ශ්‍රී ලංකාවේ අයවැය හිඟය අඩු කළ යුතු බවත් බදු එකතු කිරීම් සහ විදේශ සංචිත තර කිරීම ද ඇතුළු ඒ සඳහා ඉහළ ප්‍රගතියක් අවශ්‍ය බවත් ණය මුදල මුදාහරින බව සඳහන් කරමින් අන්තර්ජාතික මූල්‍ය අරමුදල නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ ඉහළ බර සහ රාජ්‍ය ව්‍යවසායවල දුර්වල ක්‍රියාකාරීත්වය සම්බන්ධයෙන් අන්තර්ජාතික මූල්‍ය අරමුදල කරුණු පෙන්වා දී තිබෙන අතර, මූල්‍ය ප්‍රතිපත්ති දැඩි කිරීම සම්බන්ධයෙන් අවධානය යොමු කරන්නැයි ද අවධාරණය කර තිබේ. උද්ධමනය සහ ණය වර්ධනය ඉහළ තත්ත්වයක තිබෙන බව ද ඔවුහු ‍තව දුරටත් පෙන්වා දෙති.

RSL

Related Posts