හම්බන්තොට වරාය අද සිට චීනයට; වසර 25ක බදු නිදහසක්‌

Spread the love

හම්බන්තොට වරාය චීනයට පැවරීමේ කාර්යය අද (09) පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී සිදු කරන බවට වාර්තාවේ. පාර්ලිමේන්තුවේ කමිටු කාර්යාලයකදී සිදු වන මෙම කටයුත්තට අගමැතිවරයා, වරාය හා නාවික කටයුතු ඇමැතිවරයා සහ චීන රජයේ නියෝජිතයන් එක්‌වනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

හම්බන්තොට වරාය චීනයට භාරදීමේ කටයුත්ත වඩාත් නීත්‍යානුකූල කිරීම සඳහා ඊයේ පාර්ලිමේන්තුවට අති විශේෂ ගැසට්‌ පත්‍ර දෙකක්‌ද ඉදිරිපත් කර තිබිණි. ඒ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේය. එක්‌ ගැසට්‌ නිවේදනයක්‌ වන්නේ හම්බන්තොට වරායේ මෙහෙයුම් වත්කම් සියල්ලෙහි කළමනාකරණය භාර ගනිමින් නැව් භාණ්‌ඩ මෙහෙයුම් කටයුතු සංවර්ධනය කිරීම හා වාණිජකරණය කිරීම අරමුණින් එම්/ එස්‌ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට්‌ ගෲප් නමැති ආයතනයට භාරදීමය. ඒ සඳහා වන ආයෝජනය ඇමරිකානු ඩොලර් මිලියන හත්සිය අනූහතරකි (794).

අනෙක්‌ ගැසට්‌ නිවේදනයෙන් සිදු කරනු ලබන්නේ හම්බන්තොට වරායේ ආරක්‌ෂාව, ජලතරණ සේවා, නැංගුරම්ලෑම ඇතුළු සේවාවන් ඇමරිකානු ඩොලර් මිලියන හයසිය හයක (606) ආයෝජනයක්‌ යටතේ හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට්‌ සර්විසස්‌ නමැති ආයතනයට පැවරීමය.

මෙම ගැසට්‌ පත්‍ර දෙකේ සඳහන් කාර්යයන් සඳහා ඇමැති මණ්‌ඩල අනුමැතිය ලබා ගෙන ඇත. ගැසට්‌ පත්‍ර දෙක පාර්ලිමේන්තුව විසින් සම්මත කළ දිනයේ සිට අවුරුදු හතක කාලයක්‌ ඇතුළත ඉහත ව්‍යාපෘති සමාගම් දෙක විසින් හම්බන්තොට වරායේ සිය වාණිජ මෙහෙයුම් කටයුතු ක්‍රියාත්මක කර ආරම්භ කළ යුතුය.

මෙම ව්‍යාපෘති සමාගමේ දෙකට වසර විසිපහක ආදායම් බදු නිදහසක්‌ ලබාදී තිබේ. ශ්‍රී ලංකා වරාය අධිකාරිය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය, චයිනා මර්චන්ට්‌ස්‌ පෝර්ට්‌ හෝල්ඩිංග්ස්‌ සමාගම, හම්බන්තොට ඉන්ටර් නැෂනල් පෝර්ට්‌ ගෲප් සමාගම සහ ඉහත ගැසට්‌ නිවේදනවල සඳහන් ව්‍යාපෘති සමාගම් අතර පසුගිය ජුලි 29 දා එළැඹි අනුග්‍රහ ගිවිසුම බල පැවැත්වෙන දිනයේ සිට වසර හතක්‌ තුළ මෙම බදු නිදහස්‌ කාලය ඇරැඹේ.

එමෙන්ම බදු නිදහස ලාභයෙන් ඉහත සමාගම් දෙකේ කොටස්‌කරුවන්ට ගෙවන ලාභාංශද ඉහත වසර විසිපහක කාලය තුළ සහ ඉන්පසු තවත් එක්‌ වසරක කාලයක්‌ සඳහා ආදායම් බද්දෙන් නිදහස්‌ කර තිබේ.

මේ ආකාරයට ඉහත සමාගම් දෙකට රැඳවුම් බදු, උපයන විට ගෙවීමේ බදු, වැට්‌ බදු, ගුවන්තොටුපළ සංවර්ධන බදු, නිෂ්පාදන බදු, ජාතිය ගොඩනැඟිමේ බදු ද නිදහස්‌ කර ඇත.

සංවර්ධන ක්‍රමෝපාය සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික්‌ සමරවික්‍රම මහතා විසින් පෙරේදා (07) මෙම අති විශේෂ ගැසට්‌ නිවේදන දෙක නිකුත් කර ඇත.

-දිවයින-

RSL

Related Posts