දූෂිතයන් එක්ක ආණ්ඩු කරන්නෙත් නෑ; ආණ්ඩු හදන්නෙත් නෑ – ජනපතිගෙන් දැඩි ප්‍රකාශයක්

Spread the love

මම දූෂිතයොත් එක්ක ආණ්ඩු කරන්න කැමැති නෑ. දූෂිතයොත් එක්ක ආණ්ඩු පිහිටුවන්නත් කැමැති නෑ. සමහර අය ආණ්ඩු පිහිටුවන්නැයි කතා කරන්නේ පෙරටත් වඩා දූෂණ වංචා සිදුකරන්නයි. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ දැඩි ප්‍රකාශය කෙළේ ඉකුත් සිකුරාදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාවේ හා සමස්ත ලංකා කාරක සභාවේ නියෝජිතයන් අමතමිනි.

අලුතින් පිහිටුවන්නට යන පක්ෂත් ආණ්ඩුවෙන් ඉවත් වී විපක්ෂයේ අසුන් ගන්නට යන අයත් ගැන දේශපාලන විග්‍රහයක යෙදුණු ජනාධිපතිවරයා ඒ ගැන සඳහන් කළේ ‘සමහර කට්ටිය උදේට පොහොට්ටුව එක්ක. හවසට මේ පැත්තේ. තවත් සමහර කට්ටිය උදේට මේ පැත්තේ. හවසට පොහොට්ටුව පැත්තේ. මේවා ඔක්කොම මම නොදන්නවා නෙවේ. මොනවා තිබුණත් මොන පැත්තක ගියත් අපි අපේ දේශපාලනය කරන්න ලෑස්ති වෙන්න ඕනෑ’ කියමිනි.

සමහර අය කියනවා අපි ඉන්නේ තුන්වැනි තැන කියලා. ඔව්. තුන්වැනි තැන ඉන්නවා නම් දෙවැනි තැනට එන්න ඕනෑ. දෙවැනි තැන ඉන්නවා නම් පළමුවැනි තැනට එන්න වැඩකරන්න ඕනෑයි පැවැසූ ජනාධිපතිවරයා අතුරුදන් වූවන් පිළිබඳව කාර්යාලය ගැන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කරන චෝදනාවකට ද පිළිතුරු දෙමින් කීවේ එම පනත තමා ඉතා හොඳින් කියවා බලා කළ යුතු වෙනස් පවා කළ බවත් එය සකස් කෙළේ විදේශ බලවේගවලට ඕනෑකමට හෝ බලපෑම්වලට නොවන බවත් රාජපක්ෂ මහතා එවැනි චෝදනා කරන්න අඩු වශයෙන් ඒ පනත කියවා නැතැයි පෙනෙන බවත්ය.

එදා ඩලස් අලහප්පෙරුම හා විමල් වීරවංශ ලේඛනයකට අස්සන් කර මහා සංඝයා වහන්සේට භාර දීම රටට කරන හානියක් ලෙස පෙන්වා දුන් ජනාධිපතිවරයා එසේ හානිකර දේවල් කරන්න ඉඩදිය නොහැකි බවද කීවේය.

යුද හමුදා මූලස්ථානය පවත්වා ගෙන ගිය ඉඩම එදා ෂැංග්‍රිලා හෝටල් සමාගමට දුන්නේ ඊට අදාළ ලියකියවිලි හිටපු ජනාධිපතිවරයාම අස්සන් කරමින් බවත් පෝට් සිටි ව්‍යාපෘතියේ ඉඩම් අක්කර 200ක් චීනයට දුන්නේ සින්නක්කර ඔප්පුවකින් බවත් පැවැසූ ජනාධිපතිවරයා එදා තමා රාජපක්ෂ ආණ්ඩුවෙන් ඉවත් වූයේ එහි තිබූ දූෂණය නිසා බවත් මෙතනත් හොරු ඉන්නවා. මට අවශ්‍ය පිරිසුදු අය සමඟ ආණ්ඩුවක් පිහිටුවන්න බවත් ආණ්ඩුවෙන් යනවා යැයි කියන අය රෑට රෑට තමාවත් හමුවන බවත් විධායක හා සමස්ත ලංකා කාරක සභිකයන් හමුවේ කීවේය.

මට අවශ්‍ය පිරිසුදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ගොඩනඟා ආණ්ඩු බලය ලබා ගැනීම බවද ජනාධිපතිවරයා කීවේය.

RSL

Related Posts