විමල් වීරවංශ එදා බත් කෑ හැටි..

Spread the love

wimal-eat-jvp-riceමෙය සිදුවූයේ අදින් වසර කිහිපයකට පෙරාතුවය. ඒ කාලේ මගේ මස්සිනා (බිරිඳගේ මල්ලී) පට්ට ජේවීපී කාරයෙකි. ඔහු ප්‍රාදේශීය සභා මැතිවරණයටත් ඉල්ලුවේය. ඒ පසුගිය පළාත් පාලන මැතිවරණයට නොව ඊට පෙර පැවති පළාත් පාලන මැතිවරණයේ දී ය. එවකට විමල් වීරවංශ ජනතා විමුක්ති පෙරමුණේය. අකුරැස්ස, පිටබැද්දර, මොරවක හා දෙනියායේ තිබූ රැස්වීම් ගණනාවක ප්‍රධාන කතිකයා වූයේ වීරවංශය.

ඔහුට දිවා ආහාරය සැකසීමේ කාර්යය භාර ගත්තේ අපේ මල්ලීය. තාත්තා එවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බල කණුවක් වුව ද තම පුතාගේ මතයට හිස නමමින් ඔහුගේ පක්ෂයේ ජනප්‍රිය නායකයා පිළිගැනීමටත් ඔහුට දිවා ආහාරය සැපයීමත් භාර ගත්තේ ඒ කාර්යය මහත් ගෞරවයක් ලෙස සළකමිනි.
නිවසේ අමුතුම උත්සව ශ්‍රීයක් ගන්නා බවක් පෙනෙන්නට තිබිණි. දින කිහිපයකට පෙර පටන් මේ ආහාර සැපයීමේ කාර්යයට මහ ඉහළින් සියල්ලෝම සම්බන්ධ වූහ. දිනය උදාවිය. කෑම සකසන්නට සූදානම් වෙද්දී පැමිණි වාහනයකින් බැස ගත් ආඩම්බරකාර කාන්තාවක් නිවසට ඇතුළු වූවාය.

‘‘ කෑම හදන ඒවා මට බලන්න ඕනේ. සියලුම දේ සිදුවන්නේ මගේ අධීක්ෂණයෙන් මම කියන අයට ඇරෙන්න අනිත් අයට කුස්සියට එන්න බෑ.”
තාත්තා උඩ බිම බැලුවේය. මේ ගැහැනියට කොසු පහර වදිනු ඇතැයි තාත්තා ගැන දන්නා බොහෝ දෙනකු සිතූහ. එහෙත් තාත්තා තම පුතා වෙනුවෙන් සියල්ල ඉවසනු පෙණිනි. අර කාන්තාව ලුණු ඇඹුල්, මිරිස් තුනපහ පමණක් නොව උයන කියන දේ ද තීරණය කළාය.

දකුණේ මිනිසුන් ආගන්තුක සත්කාරය හොදින් දනී. තම නිවසට ගොඩවන ඕනෑම කෙනෙකුට තමන්ට කෑමට ඇති බත්පත පවා දෙන්නට ඔවුන් පැකිලෙන්නේ නැත. තමන් ගරු කරන නායකයන්ට බත් ඩිංගක් තමන්ගේ හිතේ හැටියට දෙන්නට ලැබෙනවාන්ම ඔවුන්ට එය මහ සඟරුවනට දෙන දානයක් වැනිය. එහෙත් මේ ගැහැණිය සියල්ලට හරස් වූවා ය. ඇය විමල් වීරවංශගේ කෑම බීම තීරණය කරන අධීක්ෂණය කරන කතයි.

එදා ජවිපෙ ජනප්‍රිය නායකයා මොහොතකින් නිවසට ප්‍රවිශ්ඨ වූයේය.

නිවසට ආ අමුත්තන්ට හිතේ හැටියට සංග්‍රහ කරන්නට අර කාන්තාව ඉඩ දෙන්නේ නැත. සියල්ල සිදුවන්නේ ඇයගේ අවශ්‍යතාව අනුවය. අම්මාත් තාත්තාත් අන් අයත් පසෙකට වී බලා සිටියි. අර කාන්තාවගේ නියෝග ක්‍රියාත්මක කරයි. ආහාර ගෙන අවසන් වූ වීරවංශ මොහොතක් පුටුවකට බර වූයේය.

‘‘ පිටබැද්ර රැස්වීම තියෙන තැන ඉස්සරහ කඩේ ඉන්න කෙනා හැමතැනම කියනවා ඔබතුමා මහින්ද රාජපක්ෂ පස්සේ යනවා එයාට ඕන දේය කරන්නේ කියා. ඒකට උත්තරයක් දෙන්න. “ තාත්තා වීරවංශට කීවේය.

‘‘ඕවට උත්තර දෙන්න බෑ“ විමල් වීරවංශගේ පිළිතුර අසා තාත්තා නිශ්ශබ්ද වූයේය.

මොහොතකින් රැස්වීමට පිටත්වූ ඔහු තමන් ගමන් ගන්නා රථය වරින් වර මාරු කරමින් වාහන තුනකින් රැස්වීමට ගියේය.

එදා තමන්ගේ අපේක්ෂකයාගේ නිවසේ පිළියෙල වන බත් පත අධීක්ෂණය කරන්නට ගැහැණියක් එවූ වීරවංශ ටික කාලයකින් පක්ෂය හැරදමා ගියේ රැස්වීමට යන්න වාහන මාරු කළ ආකාරයෙනි. ඔහු එදා උත්තර දෙන්න බැරියැයි කිවේ ඒ වනවිටත් ඔහු මහින්දගේ බත් බැලයකු වී සිටි නිසා විය යුතුය. තම පාක්ෂිකයාගේ නිවසේ උයන රස මසවුළු ගැන විශ්වාසයක් නොතැබූ වීරවංශට වත්මන් ජවිපේ ආදර්ශයක් වේවායැයි සිතමු. (මම ජේවීපී කාරයෙක් නොවේ)

උපුටා ගැනීම : සජීව විජේවීරගේ මුහුණු පොතෙනි.

RSL

Related Posts