අති දැවැන්තම කුඩු තොගය ඇල්ලූ මෙහෙයුම ක්‍රියාත්මක වූ හැටි; වටිනාකම කෝටි 100 පන්නයි

Spread the love

herion-perationමෑත ඉතිහාසයේ දී මහ මුහුදේ දී අත්අඩංගුවට ගත් විශාලතම හොරොයින් තොගය ලෙස සැලකෙන රුපියල් කෝටි සියයකට අධික වටිනාකමින් යුත් හෙරොයින් කිලෝග්රෑම් 101ක් දකුණු මුහුදු තීරයේ දී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය ඒකාබද්ධ දැවැන්ත මෙහෙයුමක දී හැකිවී තිබේ.

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මිහිකත නෞකාව සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා කිහිපයක් මේ දැවැන්ත මෙහෙයුම සඳහා සහභාගි වී තිබෙන අතර එහිදී පාකිස්තාන ජාතිකයකු හා ඉරාන ජාතිකයන් දස දෙනෙක් ද ඊට අමතරව ජාවාරම්කරුවන්ට අයත් විදේශීය යාත්‍රාවක් ද අත්අඩංගුවට ගෙන තිබෙන බව ශ්‍රී ලංකා නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා පැවසීය.

පසුගිය 30 දා මෙම ‍හෙරොයින් තොගය අත්අඩංගුවට ගන්නා ලද අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව දින දෙකකට පෙරාතුව මෙකී මෙහෙයුම දියත් කළ කෙරිණි. තව දුරටත් මෙයට සම්බන්ධ පුද්ගලයන් සොයා මෙහෙයුම් සිදුකරන බවද කියා සිටී.

මහා පරිමාණ වශයෙන් සිදුකෙරුණු මේ මත්ද්‍රව්‍ය ජාවාරම ශ්‍රී ලංකාවේ නියෝජිතයන් හා එක්ව පාකිස්තානය හා ඇෆ්ඝනිස්තාන ජාතිකයන් විසින් පවත්වාගෙන ගිය එකක් බවට තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර පාකිස්තානයේ සිට ශ්‍රී ලංකාවේ දකුණු මුහුදු තීරයට රැගෙන එන මෙම මත්ද්‍රව්‍ය දකුණේ ධීවර කටයුතුවල යෙදී සිටින මුවාවෙන් එයට සම්බන්ධ නියෝජිතයන් බහුදින යාත්‍රා උපයෝගී කරගෙන ශ්‍රී ලංකාවට රැගෙන එන බවද ඒවා දකුණු අධිවේගී මාර්ගය ඔස්සේ කොළඹට රැගෙන එන බවද සඳහන් කරයි.

කොළඹ දී ප්‍රධාන වෙළෙඳ නියෝජිතයන් වෙත බෙදාහරින ලද අති විශාල මට්ටමින් සංවිධානය වූ කූඨ ජාවාරමක් බවටත් තොරතුරු අනාවරණය වී තිබෙන අතර නාවික හමුදා බුද්ධි අංශය වෙත ලද තොරතුරු ඔස්සේ පසුගිය දා දකුණු මුහුදේ මෙම මෙහෙයුම දියත් කෙරිණි. පොලිස් මත් ද්‍රව්‍ය කාර්යංශයේ නිලධාරීන්ගේ ද සහාය මේ සඳහා ලැබී තිබේ. මේ සඳහා දකුණු නාවික විධානයට අනුයුක්ත ශ්‍රී ලංකා නාවික නෞකා නන්දිමිත්‍ර, ශ්‍රී ලංකා නාවික නෞකා මිහිකත සහ වේග ප්‍රහාරක මුර යාත්‍රා කීපයක් සහභාගී විය. කිලෝග්‍රෑම් 100ක ප්‍රධාන මත්ද්‍රව්‍ය තොගය වෙනම පැවති අතර, තවත් ස්ථානයක සඟවා තිබූ හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් ද මෙතෙක් හඳුනා නොගත් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් ද එහි තිබී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් පුද්ගලයන් පොලීසිය විසින් රඳවා තබා ගනිමින් මෙම ජාවාරමේ සෙසු හවුල්කරුවන් කවුරුන්ද යන්න පිළිබඳව තොරතුරු දැන ගැනීමටත් ඔවුන් කඩිනමින් අත්අඩංගුවට ගැනීමට මේ වන විටත් අවශ්‍ය පියවර ගනිමින් සිටී.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “මතින් තොර රටක්” වැඩසටහන යටතේ නාවික හමුදාව සතුව පවතින ප්‍රධාන කාර්යය වන්නේ වෙනත් රටවල් වලින් මෙරටට මත්ද්‍රව්‍ය රැගෙන ඒම මැඩ පැවැත්වීම බව පෙන්වාදෙන නාවික හමුදාව ඒ අනුව දකුණු මුහුදු තීරයට අයත් ගැඹුරු මුහුදේ දින ගණනාවක් පුරා ඉතාමත් දුෂ්කර මුහුදු තත්ත්වයන්වල පවා මහ මුහුද මැද රැඳී සිටිමින් තම වගකීම මැනවින් ඉටු කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව සමත්ව ඇති බවට මෙය තවත් එක් නිදසුනක් බවද පෙන්වා දෙයි. ඉතිහාසයේ අන් කවරදාක හෝ මහ මුහුදේ දී මෙතරම් විශාල මත්ද්‍රව්‍ය තොගයක් අත්අඩංගුවට ගෙන ඇති බවට තොරතුරු වාර්තා නොවීම ද විශේෂත්වයකි.

-දිනමිණ-

RSL

Related Posts