“සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය” සා/පෙළ දක්වා අනිවාර්යයි

Spread the love

සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපන විෂය අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස හඳුන්වා දීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු බව කැබිනම් සම ප්‍රකාශක ඇමැති ගයන්ත කරුණාතිලක මහතා අද(06) පැවසීය.

ඇමැතිවරයා ඒ බව පැවසුවේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිනි.

ශ්‍රී ලංකාව තුළ වාර්ෂිකව සිදුවන මරණ සංඛ්‍යාෙවන් සියයට 75ක් පමණ බෝ නොවන රෝග හේතුවෙන් සිදුවන බවත්, මුළු ජනගහනයෙන් 72.5%ක් එළවළු හා පළතුරු අවශ්‍ය ප්‍රමාණයට ආහාරයට නොගන්නා බවත්, කාන්තාවන්ගෙන් 44%ක් පමණ ප්‍රමාණවත් පරිදි කායික ව්‍යායාමයන්හි නොයෙදන බවත් අමාත්‍යවරයා කීවේය. මෙම තත්ත්වය මඟහරවා ගැනිමින් සෞඛ්‍ය සම්පන්න ජීවන රාවක් ගත කිරීම සඳහා සෞඛ්‍ය පිළිබඳ මහනා දැනුමක් තිබීම අවශ්‍ය බව ද, වර්තමාන පාසල් විෂය නිර්දේශය තුළ හය වසරේ සිට නවය වසර දක්වා පමණක් සෞඛ්‍ය විෂ්‍ය අනිවාර්ය වුවද අපොස සාමාන්‍ය පෙළ විභාගය සඳහා සෞඛ්‍ය අනිවාර්ය නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.

ඒ අනුව, අ.පො.ස. (සාමාන්‍ය පෙළ) විභාගය සඳහා අනිවාර්ය විෂයක් ලෙස ‘සෞඛ්‍ය විෂය’ හඳුන්වා දීම පිණිස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය (වෛද්‍ය) රාජිත සේනාරත්න මහතා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබේ.

2023 වසරේදී සිදු කිරීමට නියමිත මීළඟ පාසල් විෂයමාලා සංශෝධනයේදී අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගය දක්වා ‘සෞඛ්‍යය හා ශාරීරික අධ්‍යාපනය’ යන විෂය අනිවාර්ය විෂයක් ලෙස පාසල් තුළ ඉගැන්විය යුතු බවට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ විද්වත් කමිටුව විසින් සිදු කරනු ලැබ ඇති යෝජනාවද සැලකිල්ලට ගනිමින්, පාසල් විෂයමාලා සංශෝධනය පිළිබඳ ප්‍රතිපත්තිමය තීරණ ගැනීමේ බලධාරිත්වය දරන ජාතික අධ්‍යාපන කොමිෂන් සභාවේ නිර්දේශ ලබාගැනීමෙන් අනතුරුව එම යෝජනාව ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබා දී තිබේ.

RSL

Related Posts