හම්බන්තොට ගිවිසුමෙන් ඩොලර් මිලියන 400ක ආයෝජන එන බව මහ බැංකු අධිපති කියයි

Spread the love

හම්බන්තොට වරාය සහන ගිවිසුම අස්සන් කිරීමත් සමඟ ඉදිරි මාසයේ අමෙරිකානු ඩොලර් මිලියන 100ක හා මාස හතරකින් ඩොලර් මිලියන 300 සෘජු විදේශ ආයෝජන ‍රටට ගලා එනු ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහාත ප්‍රකාශ කරයි.

රජය දීර්ඝකාලීන ආර්ථික ප්‍රවර්ධන සැලැසුම්වලට අනුව ගනු ලැබූ ක්‍රියාමාර්ග තුළින් පසුගිය අප්‍රේල් මාසයේ සිට උද්ධමනය සැලැකිය යුතු මට්ටමකින් අඩුවීමට පටන්ගෙන තිබෙන බවත් අධිපතිවරයා කීය. වසර 2017 පස්වැනි මුල්‍ය ප්‍රතිපත්ති විවරණය ඊයේ (03) දහවල් කොළඹ කොටුව, ජනාධිපති මාවතේ පිහිටි ශ්‍රී ලංකා මහ බැංකු මූලස්ථානයේදී එළිදැක්වීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අධිපතිවරයා එසේ කීය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට ඉකුත් 2වැනි දා රැස්වූ මුදල් මණ්ඩලය තීරණය කළ බවද කී අධිපතිවරයා, ඉන් උද්ධමනය පහළ අගයක තබා ගැනීමට රුකුලක්වී ඇතැයි ද කීය.

මේ වසරේ මුල්මාස තුන ඇතුළත ආර්ථිකයේ වර්ධනය මන්දගාමී වූ බව කී අධිපතිවරයා ඉන්පසුව ක්‍රමිකව ආර්ථිකය යහපත් අයුරින් වර්ධනය වීමට මුලපුරා ඇතැයිද සඳහන් කෙළේය.

මේ වසරේ ජූලිමාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ප්‍රකාශයට පත්කරන ලද ලෝක ආර්ථික ඉදිරි දැක්මට අනුව ජපානය, යුරෝපය ප්‍රමුඛ දියුණු රටවල ආර්ථිකයන් වර්ධනය වන බවත්, නැඟී එන ශ්‍රී ලංකාව වැනි රටවල ද ආර්ථිකය වර්ධනය වන බව පෙන්වා දුන් අධිපතිවරයා, අනාගතය සුබවාදී ඉලක්ක ජයගන්නට අප රටට හැකිවන බවත් කීය.

උද්ධමනය පහළ අගයක තබා ගැනීමේ අරමුණින් මහ බැංකුව සිය පොලී අනුපාත තවදුරටත් නොවෙනස්ව පවත්වා ගැනීමට ගත් තීරණය පැහැදිලි කළ අධිපතිවරයා, රටේ සෘජු විදේශ ආයෝජන මෙන්ම දේශීය ආයෝජන පවා ඉහළ යනු ඇතැයි කීය. ඒ හරහා නව රැකියා, නව කර්මාන්ත, අපනයන වැඩිවන බවද ආචාර්ය කුමාරස්වාමි මහතා පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, කේ.ඩී. රණසිංහ, දෙපාර්තමේන්තු ප්‍රධානීහු ඇතුළු කිහිපදෙනෙකු මේ අවස්ථාවට සහභාගි වී සිටියහ.

RSL

Related Posts