සේවක අර්ථසාධක අරමුුදලේ තිබෙන රුපියල් බිලියන දෙදහසක් වූ මුළු මුදලම කොටස් වෙළෙඳපොළේ අවදානම් ලෙස ආයෝජනය කිරීම සඳහා ආණ්ඩුව විසින් අවස්ථාව නිර්මාණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ (02) ප්‍රකාශ කළේය.
සේවක අර්ථසාධක අරමුදල සතුව රුපියල් ටි්රලියන දෙකක් තිබෙනවා. එය බිලියන වලින් දෙදහසක්. ආණ්ඩුව අත්සන් කර ඇති ගිවිසුම අනුව මේ අරමුදලේ සියයට තිහත් හතළිහත් අතර ප්‍රමාණයක් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට සූදානම් වෙනවා.
ඉතිරි සියයට හැටත් සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයන් හරහා කොටස් වෙළෙඳපළේ ආයෝජනය කිරීමට අවස්ථාව ආණ්ඩුව විසින්ම නිර්මාණය කර තිබෙනවා. මේක අවදානම්. 2008-2012 කාලය තුළ මේ අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම තුළින් රුපියල් කෝටි 2800 ක පාඩුවක් වී තිබෙනවා. ආණ්ඩුවේ දූෂිත ගනුදෙනු හරහා ගජ මිතුරන් සමග සූදු සෙල්ලම් කරන්න මේ අරමුදල යොදාගත් නිසයි එවන් පාඩුවක් සිදු වුණේ.
ආණ්ඩුවේ හිතවතුන්ගේ කඩා වැටෙන සමාගම් ගොඩදාගන්න සේවක අර්ථසාධක අරමුදල් යොදා ගන්නා පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම මෙවන් ගනුදෙනුවක් නිසා කෝටි 1100 ක අයුතු ලාභයක් ලබා ගත්තා. ඒ අවස්ථාවේ අරමුදලේ පාඩුව කෝටි 850 යි. අරමුදලේ පාඩුව පර්පෙචුවල් සමාගමේ ලාභය වුණා යෑයි ඊයේ පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී අනුර කුමාර දිසානායක මහතා කීවේය.