රාජ්‍ය ආයතන 15ක පාඩුව කෝටි 11000 ක්‌

Spread the love

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (කෝප්) තෙවැනි වාර්තාවට අනුව පසුගිය වසර තුනක පමණ කාලයේදී රාජ්‍ය ආයතන 15ක රුපියල් කෝටි 11000 ක පාඩුවක්‌ සිදු වී ඇතැයි එම කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) පැවසීය.2016 මැයි මස පළමුවැනිදා සිට 2016 අගෝස්‌තු 31 වැනිදා දක්‌වා කාලයේදී රාජ්‍ය ආයතන 15 ක්‌ පිළිබඳව එම කමිටුව සිදු කළ විමර්ශනවලින් සකස්‌ කරන ලද පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ තෙවැනි වාර්තාව හඳුන්නෙත්ති මහතා විසින් ඊයේ (08 දා) පාර්ලිමේන්තුවේ සභාගත කරන ලදී.

එම වාර්තාවට අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය රුපියල් මිලියන 37000 ක්‌ද රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව රුපියල් මිලියන 2918 ක්‌ද පාඩු ලබා ඇති බව හඳුන්නෙත්ති මහතා කීය.

සතොස, මාර්ග සංවර්ධන අධිකාරිය සී/ස ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්‌ථාව, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ක්‍රිකට්‌, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්‌ථාව, ජාතික ලොතරැයි මණ්‌ඩලය, සූර්ය බලශක්‌ති අධිකාරිය, ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය, ශ්‍රී ලංකා ආයුර්වේද ඖෂධ සංස්‌ථාව, මගනැගුම, කුරුණෑගල වැවිලි සමාගම සහ සේවා නියුක්‌තිකයන්ගේ භාර අරමුදල් මණ්‌ඩලය යන රාජ්‍ය ආයතන 13 පිළිබඳවද ඊට අමතරව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ විමර්ශනයට ලක්‌ කර ඇත.

වාර්තාව ඉදිරිපත් කරමින් සුනිල් හඳුන්නෙත්ති මහතා මෙසේද ප්‍රකාශ කළේය.

2016 මැයි මස පළමුවැනිදා සිට 2016 අගෝස්‌තු මස 20 වැනිදා දක්‌වා ආයතන 15 ක්‌ අපි විමර්ශනය කළා.

මෙම ආයතන 15 න් අපේ ආර්ථිකයට කෙරෙන බලපෑම කමිටුවේ අවධානයට ලක්‌ වුණා. මේ ආයතනවලින් පාඩු ලැබෙනවාය කියනවාට වඩා නාස්‌තිකාර, අනාර්ථික, ආර්ථික වශයෙන් අවැදගත් වන විශාල ව්‍යාපෘති ගණනාවක්‌ මේ ආයතන හරහා ක්‍රියාත්මක වී තිබෙනවා.

හම්බන්තොට සූරියවැව ක්‍රීඩාංගනයට අයිතිකාරයෙක්‌ නැති තත්ත්වයක්‌ අද ඇති වී තිබෙනවා. වරාය අධිකාරිය බිලියන 5.3 ක්‌ ගෙවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට්‌ ආයතනයද කියන ප්‍රශ්නය අද තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරියට අයත් නොවන ව්‍යාපෘති සඳහා මිලියන 57000 ක පමණ අනාර්ථික කටයුතු සිදුව තිබෙනවා. නෙළුම් පොකුණට අද අත් වී තිබෙන ඉරණම මොකක්‌ද?

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඩොලර් මිලියන ගණන් ලැබී තිබෙනවා. ඒවා යෙදවූ ආකාරය පිළිබඳ සොයා බලා තිබෙනවා.

ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්‌ථාව රුපියල් මිලියන 2918 ක්‌ද, හම්බන්තොට වරායේ පාඩුව රුපියල් මිලියන 37000 ක්‌ ද වෙනවා. කෝප් කමිටුව විමර්ශනය කළ මේ සියලුම ආයතනවල පාඩුව රුපියල් කෝටි 11000 ක්‌ පමණ වෙනවා.

මේ වාර්තාව පිළිබඳ සියලුම මන්ත්‍රීවරුන්ගේ අවධානය යොමු කරනවා. ඒ වගේම විෂයභාර ඇමැතිවරුන්ට මේ පිළිබඳව සොයා බැලීමේ වගකීමක්‌ද පැවරෙනවා.

-දිවයින-

RSL

Related Posts