විවේචන හමුවේ ආණ්ඩුව ෆීල්ඩ් මාෂල්ව හත්පලේ ගා ගනිති

Spread the love

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විශේෂ බලතල සහිතව වෘත්තීය සමිති සහ රජයට එරෙහි අරගල මර්දනය සඳහා ජනපතිවරයා විසින් විශේෂ පත්වීමක් ලබාදීමට යන බව රජයේ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න විසින් අනාවරණය කිරීමත් සමඟම රජයට සම්බන්ධ පාර්ශව විසින්ම දැඩි විරෝධයක් සහ විවේචනයක් රජයට එරෙහිව එල්ලවන්නට පටන් ගෙන තිබේ.

එම විරෝධයෙන් බේරීම සඳහා මේ වන විට රජයේ අමාත්‍යවරුන්ම ඊට ස්ථාවර ප්‍රතිචාරයක් දක්වනවා වෙනුවට හත් පලේ ගා ගනිමින් සිටින බවක් පෙනෙන්නට තිබේ.

රටේ විනය රැකීමට ආරක්‍ෂක අංශවල බලතල ඇමැති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට ලබා දිය යුතු බවට ජනාධිපතිවරයා ඇමැති මණ්‌ඩල රැස්‌වීමේදී ප්‍රකාශ කළේ විහිළුවට මෙන් බව සමාජ සවිබල ගැන්වීම හා සුබ සාධන ඇමැති එස්‌. බී. දිසානායක මහතා පවසයි.

මෙම ඇමැති මණ්‌ඩල රැස්‌වීමට තමාද සහභාගීවු බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ ප්‍රකාශය කිරීමෙන් පසුව එහි සිටි ඇමැතිවරුන්ට සිනහ ගිය බවත් ඊයේ (27දා) ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂ මූලස්‌ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී ඇමැතිවරයා කියා සිටියේය.

ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට විනය රැකීමට භාරදීම පිළිබඳ ප්‍රකාශයෙහි විහිළුවකට එහා ගිය දෙයක්‌ නොමැති බවද ඒ ගැන ගණන් ගත යුතු නොමැති බවද එස්‌. බී. දිසානායක ඇමැතිවරයා කීවේය.

මේ රටේ විනය ඇති කරන්න වර්ජනවලට මුහුණදීමට විශේෂ ඒකක අවශ්‍ය නොවන බවද හදිසි අවස්‌ථාවලදී තමන්ට වුවත් ඒ සඳහා ක්‍රියාත්මක විය හැකි බවද ඇමැතිවරයා පැවසීය.

එස්‌. බී. දිසානායක ඇමැතිවරයා මාධ්‍ය හමුවෙන් පිටව ගිය පසු මාධ්‍ය සාකච්ඡාවට එක්‌ වූ වාරි මාර්ග හා ජල කළමනාකරණ ඇමැති විජිත් විජයමුණි සොයිසා ඇමැතිවරයාගෙන් මාධ්‍යවේදීන් මේ පිළිබඳව කළ විමසීමකදී හෙතෙම කියා සිටියේ මෙවැනි පත්කිරීමක්‌ සිදු කිරීම සුදුසු බවයි.

ජනාධිපතිවරයා එම ප්‍රකාශය විහිළුවට කීවේද යන්න තමා නොදන්නා නමුත් එම ප්‍රකාශය “සීරියස්‌” වේ නම් ඉතා හොඳ බවද හෙතෙම කීවේය.

මේ අතර පෙරේදා (26) කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න පැවසූයේ, ‘අපි කොන්ද කෙළින් කරගැනීමට’ ෆොන්සේකාව එවැනි තනතුරකට පත්කරන බවයි.

RSL

Related Posts