සිරිසේන සහ වික්‍රමසිංහගේ ඩීල් මතින් පමා වී එන වසන්තය ගෝඨාභයගේ පව් කමා කරයිද..?

Spread the love

මෙරට හැට දෙලක්ෂයක ජනතාවගේ විශ්වාසය අමු අමුවේ පාවාදෙමින් පුරා වසර 4ක් තිස්සේ ජනාධිපති සිරිසේන සහ අගමැති වික්‍රමසිංහ යන දෙපලත් ඔවුන්ගේ පාදඩ උපදේශකයින් සහ ඇම්බැට්ටයින් එකිනෙකාට හොර රහසේ ගැසූ ඩීල් සහ ගේම් ගැසීම තම තමන්ටම පාරා වළල්ලක් වී ඇත්තේ තම පොදු සතුරා යළි තමාට එරෙහිව හිස ඔසවද්දීය.

සිරිසේන සරම අස්සේ දමාගෙන නයින්ට කිරි පොවද්දී රනිල් කලිසම් සාක්කුව අස්සේ දමාගෙන සන්තර්පන කරමින් තම සතුරා සුරතල් කළේ එදා මිනීමරු රාජපක්ෂ රෙජීමය පරාජයට පත්කිරීමට ඔවුන්ට එරෙහිව දිවිහිමියෙන් සටන් කළ ජනතාව අමු අමුවේ පාවාදෙමින් බව කිව යුතුය. දෙදෙනා දෙදෙනට හොරෙන් සතුරන් සමඟ ඩීල් දැමිමට හොර රහසේ උත්සහ කළද රාජපක්ෂවරුන්ගේ තරම නොදත් ගමරාලයා සහ කොලුරාලයා දැන් අවසන සතුරාට දැල එලීමට සැරසෙන්නේ ජනතාව ගොනාට අන්දවමින් ඇන ගෙන සිටින ගෝඨාට අනුකම්පාව මතින් ගොඩ ඒමේ අවස්ථාවත් උදාකරදීමට දැයි ප්‍රශ්නාර්ථයකි.

ජනාධිපති අපේක්ෂක ගෝඨාභයට එරෙහිව ප්‍රධාන වශයෙන් මීනිමරුම් චෝදනා සහ දූෂණ වංචා චෝදනා එල්ල වන ප්‍රසිද්ධ නඩු තුනකට හිටි අඩියේම යළි පණ දීමට යෑම තුළින් ගෝඨාභයට ජනාධිපතිවරණයට පෙර පව් සෝදාගෙන ඒමට හෝ උදාවන ජනාධිපති වසන්තය සැමරීමට අවස්ථාව සැලසේද යන්න අප බලා සිටිමු.

මේ ඊට අදාළ ප්‍රවෘත්තියයි.

රතුපස්වල ප‍්‍රහාරය, ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීම සහ ඇවන්ගාඩ් සිදුවීම්වලට අදාළ නඩු විභාග කිරීම සඳහා නීතිපතිවරයාගේ ඉල්ලීම පරිදි අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුළු තුනක් අද (28) පත් කළා.

මෙම අපරාධ සිද්ධීන් විශේෂ අපරාධ සිද්ධීන් ලෙස සලකා එම නඩු විභාග කිරීම සඳහා විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුළුපත් කරන ලෙස නීතීපති දප්පුල ද ලිවේරා මහතා මීට පෙර අවස්ථාවක කරන ලද ඉල්ලීම් පිළිගනිමින් අදාළ විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුළු පත් කර ඇතැයි නීතීපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිණි, ජ්‍යෙෂ්ඨ රජයේ නීතීඥ නිශාරා ජයරත්න මෙනවිය පැවසුවා.

රතුපස්වල ප‍්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කොට තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා බි‍්‍රගේඩියර්වරයකුට සහ හමුදා සෙබළුන් තිදෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන මේනකා විජේසුන්දර (සභාපති) නිමල් රණවීර සහ නිශාන්ත හපුආරච්චි මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට තිබෙනවා.

මාධ්‍යවේදී ප‍්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධියට අදාළව යුද හමුදා ලූතිනන් කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා නිලධාරීන් 09 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන සම්පත් අබේකොන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කර තිබෙනවා.

සුප‍්‍රකට ඇවන්ගාඩ් සිද්ධියට අදාළව ඇවන්ට් ගාඩ්, සභාපති නිශ්ශංක සේනාධිපති, ‘රක්නා ලංකා’ හිටපු සභාපතිවරයා, ජාතික පොලිස් කොමිසමේ ලේකම්වරයා ඇතුළු 13 දෙනෙකුට එරෙහි නඩුව විභාග කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවරුන් වන ධම්මික ගනේපොළ (සභාපති) ආදිත්‍ය පටබැඳි සහ මංජුල තිලකරත්න යන මහත්වරුන් ගෙන් සැදුම්ලත් විශේෂ ත‍්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් පත් කොට තිබෙනවා.

RSL

Related Posts