ගෝඨා ඇතුළු 8 කට එරෙහි නඩුව ඉදිරියටම

Spread the love

නීති විරෝධී පාවෙන අවි ආයුධ ගබඩාවක්‌ ස්‌ථාපිත කර පවත්වාගෙන යැම සඳහා ඇවන්ගාඩ් සමාගම වෙත අවකාශ සැලසීම තුළින් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක්‌ සිදු කිරීම සම්බන්ධයන් හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඇතුළු ආරක්‍ෂක අංශයේ හිටපු බලධාරීන් 8 දෙනකුට එරෙහි නඩුවේ මූලික විරෝධතා ලිතව ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්‌ත්‍රාත් ලාල් බණ්‌ඩාර මහතා ඊයේ (13 දා) නියෝග කළේය.

මේ වන විට විදේශ ගතව ඇති බවට කරුණු අනාවරණය වී ඇති දෙවැනි විත්තිකාරිය වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු අතිරේක ලේකම්වරියක වූ සුජාතා දමයන්ති ජයරත්න මහත්මිය නොමැතිව ඇයටද බලපාන පරිදි නඩුව විභාගයට ගැනීමට මහෙස්‌ත්‍රාත්වරයා අවසර දුන්නේය.

නඩුව විභාගයට ගත් අවස්‌ථාවේදී මෙහි විත්තිකරුවන් වන ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ, හිටපු නාවික හමුදාපතිවරුන් වන අද්මිරාල් සෝමතිලක දිසානායක, අද්මිරාල් ජයනාත් කොළඹගේ, අද්මිරාල් ජයන්ත පෙරේරා, රක්‌නා ලංකා ආරක්‍ෂක සමාගමේ හිටපු සභාපති හා හමුදා සම්බන්ධීකරණ නිලධාරී මේජර් ජෙනරාල් පාලිත ප්‍රනාන්දු, එම සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි මේජර් ජෙනරාල් කරුණාරත්න එගොඩවෙල, ඇවන්ගාඩ් මෙරිටයිම් සර්විස්‌ පෞද්ගලික සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති යන මහත්වරු පෞද්ගලිකව පෙනී සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජනක බණ්‌ඩාර මහතා කරුණු දක්‌වමින් දෙවැනි විත්තිකාරිය විදේශ ගතව ඇති බවට කරුණු අනාවරණය වී ඇති හෙයින් ඇය නොමැතිව නඩුව විභාගයට ගන්නා ලෙස ඉල්ලා සිටියේය.

ඒ අනුව අල්ලස්‌ කොමිසම වෙනුවෙන් එහි උප පොලිස්‌ පරීක්‍ෂක කේ. කේ. ප්‍රේමසිරි මහතා සාක්‍ෂි දෙමින් සුජාතා ජයරත්න නමැති විත්තිකාරිය වෙත නිකුත් කළ සිතාසිය බාරදීමට ඇය පදිංචිව සිටි කැලණියේ නිවසට ගිය බවත් එය වසා දමා එහි කිසිවෙකු පදිංචිව නොසිටි බවත් කියා සිටියේය.

ඒ පිළිබඳව ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයාගෙන්ද කරුණු විමසූ බව පැවසූ ප්‍රේමසිරි මහතා ඇය හා පවුලේ සියලු දෙනා විදේශ ගත වී ඇති බවට දැනගත් බවත් ඒ පිළිබඳව ආගමන විගමන පාලකවරයාගෙන් විමසීමේදී 2015 දෙසැම්බර් 12 දින ඇය විදේශගතව ඇති බවට තහවුරු කර ගත් බවත් පැවසුවේය.

ඉදිරිපත් වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා දෙවැනි විත්තිකාරිය නොමැතිව ඇයටද බලපාන පරිදි නඩුව විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

එහිදී ඇය වෙනුවෙන් පෙනී සිටීම සඳහා නීතීඥ අශෝක වීරසූරිය මහතාට දෙවැනි විත්තිකාරියගෙන් ලැබ තිබූ ලිත අවසරය පිළිගත් අධිකරණය වීරසූරිය මහතා හට ඇය වෙනුවෙන් පෙනී සිටීමට අවසර ලබා දුන්නේය.

පළමු විත්තිකරු වෙනුවෙන් පෙනී සිටිමින් සියලු විත්තිකරුවන්ටද බලපාන පරිදි මූලික විරෝධතා දැක්‌වූ ජනාධිපති නීතීඥ රොමේෂ් ද සිල්වා මහතා මෙම නඩු පැවරීමට අල්ලස්‌ කොමිසමේ කොමසාරිස්‌වරුන්ගේ අවසරයක්‌ නොමැති බවත් එසේ අවසරයක්‌ නොමැතිව අධ්‍යක්‍ෂ ජෙනරාල්වරියට නඩු පැවරීම් කළ නොහැකි බවත් පැවසීය.

එහිදී රජයේ ජ්‍යෙෂ්ඨ නීතීඥ ජනක බණ්‌ඩාර මහතා කරුණු දක්‌වමින් අල්ලස්‌ කොමිසමේ සියලු නඩු පැවරීම් කරනු ලබන්නේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය බවත් ඒ සඳහා ඇයට නීතිමය බලයක්‌ ඇති බවත් කියා සිටියේය.

ඉදිරිපත්වූ කරුණු කෙරෙහි සැලකිලිමත්වූ මහෙස්‌ත්‍රාත්වරයා විත්තියේ මූලික විරෝධතා ලිතව ගොනු කරන ලෙසත් නඩු යළි මාර්තු 15 දා කැඳවන ලෙසත් නියෝග කළේය.

-දිවයින-

RSL

Related Posts