වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය ගැසට් පත්‍රයකට!

Spread the love

වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය තීරණය කරන ගැසට්‌ පත්‍රය නිකුත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට සාධනීය විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතියේදී දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට එළැඹෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන් සොයිසා මහතා පැවසීය. මාලබේ සයිටම් ආයතනය වෛද්‍ය සභාව මගින් නිර්දේශ කර තිබෙන වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන්වලට අනුකූලව කටයුතු කරන්නේ නම් තම සංගමයේ කිසිදු විරුද්ධත්වයක්‌ නැතැයි ද හෙතෙම ඊයේ (13 වැනිදා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

තම සංගමය ඉදිරිපත් කළ යෝජනාවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරියේදී සිදුවන අපහසුතා සහ අඩපනවීම්වලට සෞඛ්‍ය ඇමැතිවරයාත්, උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයාත් වගකිව යුතු බව කී වෛද්‍ය නවීන් සොයිසා මහතා මෙසේද කීවේය.

සෞඛ්‍ය ඇමැතිවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්‌වන්න රට පුරා රෝහල්වල කළු කොඩි ඔසවා තිබෙනවා. ඉතිහාසයේ පළමු වතාවට සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා විසින් රෝහල් අධිකාරිවරුන් දැනුවත් කරනවා මේ කළු කොඩි ඉවත් කරන්න. ඔහු බලාපොරොත්තු වන සෞඛ්‍යයේ ගුණාත්මකබව ඉහළ නැංවීමේ වැඩපිළිවෙළ මේක නෙමෙයි. රෝහල් තුළ නැවැත්විය යුතු දේවල් තිබෙනවා. ඒවා නොකොට කළු කොඩි ඉවත් කරනවා. ඉදිරියේදී කියන්න පුළුවන් සුදු කොඩිත් ඉවත් කරන්න කියලා. අපි කොඩිය වෙනස්‌ කරන්න කරන්න ඔහුටත් වෙනවා ඒ ඒ කොඩි ඉවත් කරන්න. මෙවැනි හාස්‍යජනක දේවල් දේ තමයි කරමින් ඉන්නේ. දැඩි ජනතා විරෝධය සමග අපි මූලිකත්වය ගෙන කටයුතු කරනවා. ඇල්පිටිය මූලික රෝහලට ආයුධ සන්නද්ධව පැමිණි පිරිසක්‌ කළු කොඩි ඉවත් කරලා තිබෙනවා.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයාගෙන් අපි පැහැදිලිවම ඉල්ලා සිටිනවා රෝගීන්ගේ සෞඛ්‍යයට හිතකර චක්‍රලේඛවලට අත්සන් කරන්න. කවුරුත් ගෙනත් දෙන චක්‍රලේඛවලට අත්සන් තබන්න එපා. විරෝධය පළ කරන්න රටම පිළිගත් ක්‍රමවේදවලින් එකක්‌ පමණයි මේක. එතනින් එහාට ගිය විරෝධතා අවශ්‍ය නම් ඒවා ලබා දෙන්න රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සූදානම්. අපි ඒ සියල්ල නොකර ඉන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ පුටුවලට නොතේරෙන එහෙත් අපට තේරෙන ජනතාවගේ දුක දන්න නිසයි.

සෞඛ්‍ය ඇමැතිවරයාට යවා තිබෙන ලිපිය හරහා වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතිය තීරණය කරන ගැසට්‌ පත්‍රය වහාම නිකුත් කරන්න. මේ වන විට වෛද්‍ය සභාව ලබාදී තිබෙන නිර්දේශ සම්බන්ධයෙන් සිය ස්‌ථාවරය ප්‍රකාශ කරන්න. වෛද්‍ය සභාව ලබාදුන් නිර්දේශ අනුමත කරන්න. ඒ හරහා සෞඛ්‍ය අමාත්‍යාංශය හරහා වෛද්‍ය සභාව මගින් උසස්‌ අධ්‍යාපන ඇමැතිවරයා අනුකූල සහතිකයක්‌ අවශ්‍ය පරිදි ඉල්ලා ගෙන අදාළ ආයතනයට උපාධි පිරිනැමීම සඳහා ලබාදී තිබෙන ගැසට්‌ පත්‍රය අහෝසි කරන්න. ඇතැම් අය උත්සාහ කරනවා සයිටම් ගැටලුවත් වෛද්‍ය අධ්‍යාපන ගැටලුවත් අරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් කතාවක්‌ ඇති කරන්න. මුලින් අපි කතා කළ යුත්තේ කලින් කළ වැරදි පිළිබඳවයි. ඉදිරියේදී පිහිටුවන වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් කුමක්‌ කළ යුතුද කියා රජය තීරණය කළ යුතුයි. දැනට ඒ සියලුම නීතිවලට පිටින් ගිහින් කටයුතු කරන ආයතනයක්‌ තිබෙනවා. ඒ ආයතනය සම්බන්ධයෙන් ගත් තීරණ අපි එළිදක්‌වා තිබෙනවා. ඒ ක්‍රියාමාර්ග වහාම ගත යුතුයි.

RSL

Related Posts