ගංවතුරේ ගිය ගමන් බලපත්‍ර ගාස්තු රහිතව කඩිනමින්

Spread the love

ගංවතුර හා නාය යාම් හේතුවෙන් ආපදාවට ලක්වූ පුද්ගලයන්ගේ නැතිවූ විදේශ ගමන් බලපත්‍ර නැවත ලබා ගැනීමේදී රුපියල් 10,000ක අධිභාරය අය නොකිරීමට රජය තීරණය කර ඇතැයි සම කැබිනට් ප්‍රකාශක ඉඩම් හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ ඇමැති ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

මෑතකදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඇති වූ ගංවතුර හා නායයාම් හේතුවෙන් සැලකිය යුතු පිරිසකගේ විදේශ ගමන් බලපත්‍ර හානි ‍වී හෝ අස්ථානගත වී ඇති බවට වාර්තා වී තිබීම හේතුවෙන් රජය මෙම පියවර ගෙන ඇති බවද ඇමැතිවරයා සඳහන් කරයි.

දැනට පවතින නීතිය යටතේ විදේශ ගමන් බලපත්‍රයක වලංගු කාලසීමාව ඉකුත්වීමට පෙර අස්ථාන ගත වී හෝ විනාශ වී හෝ ඇත්නම් නව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමේදී රුපියල් 10,000ක අධිභාරයක් ගෙවිය යුතු ය.

ජල ගැල්ම හෝ නායයාම හේතුවෙන් තම විදේශ ගමන් බලපත්‍රය අස්ථාන ගත පුද්ගලයකු අලුතින් විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගැනීමට ඉල්ලුම් කිරීමේදී අදාළ ප්‍රාදේශීය ලේකම්වරයාගේ නිර්දේශය මත ඔහු අදාළ අධිභාරය ගෙවීමෙන් නිදහස් කෙරෙනු ඇත.

2017 ජනවාරි 01 දිනෙන් පසුව විදේශ ගමන් බලපත්‍රයක් ලබා ගෙන ඇති, එහෙත් මෙතෙක් විදේශ ගත වී නොමැති පුද්ගලයකුගෙන් ඒ සඳහා රුපියල් 100ක සහන මුදලක් අය කිරීමෙන් පමණක් විදේශ ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමටත් නියමිත ය. මෙම සහනය 2017 අගෝස්තු 30 දක්වා ක්‍රියාත්මක කිරීම සඳහා අභ්‍යන්තර කටයුතු, වයඹ සංවර්ධන හා සංස්කෘතික කටයුතු ඇමැති එස්.බී.නාවින්න මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමැති මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඇමැති ගයන්ත කරුණාතිලක මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පැවැසීය.

Loading...

RSL

Related Posts