මියගිය ගණන 122 දක්වා ඉහළට; 98ක් අතුරුදන්

Spread the love

අයහපත් කාලගුණයත් සමඟ ඇති වූ ගංවතුර සහ නායයෑම් හේතුවෙන් මිය ගිය ගණන 122 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙන අතර පුද්ගලයින් 98 දෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර විපතට පත්වූවන් බේරා ගැනීම සඳහා ත්‍රිවිධ හමුදාව ආරම්භ කළ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මක අතර ආපදාවෙන් අවතැන්ව සිටින මුළු ගණන 493,455කි.

ජලයෙන් යටවූ ගාල්ල උඩුගම නගරය සහ ඒ අවට ප්‍රදේශවල ගමනාගමනය සඳහා බෝට්ටු ධාවනය සිදු වෙයි. මේ අතර ගාල්ල දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් එල්ල කරන ගිං ගඟ තවදුරටත් පිටාර ගලමින් පවතියි.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික්කයේ පවුල් 32,215 කට අයත් පුද්ගලයින් 128,047 දෙනෙකු මෙම ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින බවයි.

මේ අතර මාතර දිස්ත්‍රික්කයට වැඩි බලපෑමක් එල්ල කරන නිල්වලා ගඟත් තවදුරටත් පිටාර දමමින් පවතියි.

නිල්වලා නිම්නයේ ගංවතුර ආරක්ෂණ වේලි උතුරා යන තත්ත්වයක් ද උද්ගතව ඇති බැවින් විශාල අනතුරුදායක තත්ත්වයක් පවතින බව වාර්මාර්ග දෙපාර්තමේන්තුව පවසයි. මාතර තුඩාව ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය ද තවමත් පහව ගොස් නොමැති බවද වාර්තා වෙයි.

හම්බන්තොට දිස්ත්‍රික්කයට ද ගංවතුර බලපෑම දැඩිව එල්ල වී ඇති අතර තංගල්ල කපුහේන්වල ප්‍රදේශයේ පවතින ගංවතුර තත්ත්වයද මේ වන තෙක් පවතී.

කළු ගඟ පිටාර ගැලීමත් සමඟ කළුතර දිස්ත්‍රික්කයට තවදුරටත් ගංවතුර බලපෑම එල්ල වී තිබේ. කළුතර – තෙබුවන ප්‍රදේශය ජලයෙන් යටව පවතින අතර බුලත්සිංහල හා නාරගල ප්‍රදේශ ද සම්පුර්ණයෙන් ජලයෙන් යටවී පවතියි.

බුලත්සිංහල කඳන ප්‍රදේශයේ මාර්ග සංඥා පුවරුවක එල්ලී සිටි පුද්ගලයෙකු බේරා ගැනීමට හොරණ පොලීසිය කටයුතු කර තිබේ. මේ අතර බුලත්සිංහල ප්‍රදේශයේ සිදු වූ නායයෑමෙන් ජීවිතක්ෂයට පත් පුද්ගලයන්ගේ දේහ යුද හමුදාව හරහා ඥාතීන් වෙත භාර දීමට අද ප්‍රදේශවාසීන් කටයුතු කර ඇත.

මේ අතර බදුරලිය අත්වැල්තොට ප්‍රදේශයේ මිය ගිය 05 දෙනාගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

කෙසේවෙතත් නායයෑම සිදු වූ ස්ථානයට ළඟා වීම සඳහා ප්‍රමාණවත් පරිදි යාත්‍රා ලබා නොදීම සම්බන්ධයෙන් එම පවුල්වල ඥාතීන් දැක්වූයේ දැඩි අප්‍රසාදයක් බවද වාර්තා වෙයි.

රත්නපුර නගරය ද තවදුරටත් පවතින්නේ ජලයෙන් යටවයි. මේ අතර නිවිතිගල කිරිබත්ගල කන්ද නායයෑමෙන් පුද්ගලයින් 10 දෙනෙකුගේ සිරුරු හමු වී ඇති අතර තවත් 17 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බව වාර්තා වෙයි. ඔවුන් සොයා අදත් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකය.

මේ අතර කැළණි ගඟ පිටාර ගැලීමත් සමඟ කැළණි ගංමිටියාවතේ පහත් බිම් ප්‍රදේශ ජලයෙන් යටවීම ආරම්භ වී තිබේ. ඒ අනුව කැලණිමුල්ල,කොළොන්නාව,අංගොඩ සහ කඩුවෙල ප්‍රදේශ ජලයෙන් යටව පවතියි.

RSL

Related Posts