ලක්‍ෂ 4 ක්‌ අවතැන්; මරණ 151 ක්‌; 111 ක්‌ අතුරුදන්; දිස්‌ත්‍රික්‌ක 08 ක් අවදානමේ.. (Video)

Spread the love

දිවයිනේ දිස්‌ත්‍රික්‌ක 15 කට බලපෑ අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් කඳු නායයැම් සහ ගංවතුර නිසා ඊයේ (28 දා) වන විට මරණ 146 ක්‌ සහ අතුරුදන්වීම් 112 ක්‌ ආපදා කළමනාකරණ මධ්‍යස්‌ථානයට වාර්තා වී තිබිණි.

මියගිය පිරිස දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගැනීමේදී රත්නපුර 71 ක්‌, කළුතර 43 ක්‌, මාතර 14 ක්‌, ගාල්ල 08 ක්‌, හම්බන්තොට 05 ක්‌, ගම්පහ 03 ක්‌ සහ කෑගල්ල 02 ක්‌ විය.

අතුරුදන්ව ඇති පිරිස දිස්‌ත්‍රික්‌ක වශයෙන් ගැනීමේදී මාතර 17 ක්‌, කළුතර 68 ක්‌, ගාල්ල 05 ක්‌, රත්නපුර 20 ක්‌, කෑගල්ල 02 ක්‌ වේ.

පසුගිය 24 වැනිදා රාත්‍රියේ සිට 26 වැනිදා දවස පුරා ඇදහැළුණු ධාරානිපාත වර්ෂාව සහ තද සුළං හේතුවෙන් නායයැම් සහ ගංවතුර නිසා පවුල් එක්‌ලක්‍ෂ දහහතර දහස්‌ එකසිය විසිහතරකට (114124) අයත් පුද්ගලයන් හාරලක්‍ෂ හතළිස්‌ දෙදහස්‌ දෙසිය අනූනමදෙනෙක්‌ (442299) ක්‌ පීඩාවට පත්ව සිටිති.

මෙම විපත හේතුවෙන් පුද්ගලයන් 52 ක්‌ තුවාල ලබා ඇත. නිවාස පූර්ණ හානි 230 ක්‌ සහ අර්ධහානි 1701 ක්‌ ඊයේ වන විට වාර්තා වී ඇතැයි ආපදා කළමනාකරණ අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා පැවසීය. එමෙන්ම ආපදාවට පත් පවුල් 24603 කට අයත් පුද්ගලයන් 101638 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 319 ක රඳවා ඇතැයි ද ඔහු කීය.

අයහපත් කාලගුණය හේතුවෙන් ත්‍රිකුණාමලය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 206 කට අයත් පුද්ගලයෝ 696 ක්‌ පීඩාවට පත්වී සිටිති. එම ප්‍රදේශයේ නිවාස 03 ක්‌ සම්පූර්ණයෙන් හානි වී නිවාස 188 කට අර්ධ හානි වී ඇත. මොවුන් දැඩි සුළං තත්ත්වය හේතුවෙන් විපතට පත්වී තිබේ. මඩකලපුව දිස්‌ත්‍රික්‌කයේ ද දැඩි සුළං හේතුවෙන් පවුල් 04 කට අයත් පුද්ගලයන් 20 දෙනකු පීඩාවට පත්ව ඇත. එම දිස්‌ත්‍රික්‌කයේ එක්‌ නිවසක්‌ සම්පූර්ණයෙන් හානි වී නිවාස 03 කට අර්ධ හානි වී ඇත.

* ගම්පහ පවුල් 8155 ක්‌ පීඩාවට

ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 8155 කට අයත් පුද්ගලයන් 34,357 ක්‌ පීඩාවට පත්ව ඇත. ඉවුරු කඩා වැටීම හේතුවෙන් බියගම ප්‍රදේශයේ මරණ 02 ක්‌ සහ දොම්පේ ප්‍රදේශයෙන් එක්‌ මරණයක්‌ වාර්තා වී තිබේ. පවුල් 5048 කට අයත් 21918 ක්‌ පීඩාවට පත්ව සිටින අතර ඔවුහු ආරක්‍ෂිත ස්‌ථාන 43 ක රඳවා සිටිති. මෙම දිස්‌ත්‍රික්‌කයේ ද නිවාස 02 ක්‌ සම්පූර්ණයෙන් හානි වී නිවාස 55 කට අර්ධ හානි වී ඇත.

කළුතර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 21346 කට අයත් පුද්ගලයන් 78933 දෙනකු පීඩාවට පත්වී ඇත. නිවාස 47 ක්‌ සම්පූර්ණයෙන් හානි වී නිවාස 759 කට අර්ධ හානි වී ඇත. පවුල් 1398 කට අයත් පුද්ගලයන් 5272 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 46 ක රැඳවීමට පියවර ගෙන තිබේ. බුලත්සිංහල ප්‍රදේශයේ පමණක්‌ පුද්ගලයන් 25 ක්‌ මියගොස්‌ 52 ක්‌ අතුරුදන් වී ඇත. තුවාල ලැබූ පිරිස 17 කි. පාලින්දනුවර 17 ක්‌ මියගොස්‌ 15 දෙනෙක්‌ අතුරුදන්ව ඇත.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 35068 කට අයත් පුද්ගලයන් 134660 ක්‌ පීඩාවට පත්වී ඇත. මෙම දිස්‌ත්‍රික්‌කයේ නිවාස 56 ක්‌ සම්පූර්ණයෙන් විනාශ වී නිවාස 839 කට අර්ධ හානි වී ඇත. පවුල් 1467 කට අයත් පුද්ගලයන් 5225 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 28 ක රැඳවීමට පියවර ගෙන ඇත.

* ගාල්ලේ නිවාස 74 කට මුළුමනින්ම හානිවෙලා

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ පවුල් 36314 කට අයත් පුද්ගලයන් 142149 ක්‌ පීඩාවට පත්වී ඇත. මෙම දිස්‌ත්‍රික්‌කයේ නිවාස 74 ක්‌ සම්පූර්ණයෙන් හානි වී නිවාස 177 කට අර්ධ හානි වී ඇත. පවුල් 525 කට අයත් පුද්ගලයන් 1218 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 06 ක

රැඳවීමට පියවර ගෙන තිබේ. නෙළුව ප්‍රදේශයේ පුද්ගලයන් 08 දෙනකු මියගොස්‌ 05 දෙනකු අතුරුදන්ව ඇත.

හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1073 කට අයත් පුද්ගලයන් 3827 දෙනකු පීඩාවට පත්වී ඇත. මෙම දිස්‌ත්‍රික්‌කයේ නිවාස 23 ක්‌ සම්පූර්ණයෙන් හානි වී නිවාස 88 ක්‌ අර්ධ හානි වී ඇත. පවුල් 250 කට අයත් පුද්ගලයන් 938 දෙනකු ආරක්‍ෂිත ස්‌ථාන 08 ක රැඳවීමට පියවර ගෙන ඇත. බෙලිඅත්ත ප්‍රදේශයෙන් මරණ 02 ක්‌, තංගල්ල ප්‍රදේශයෙන් මරණ 02 ක්‌, වලස්‌මුල්ල ප්‍රදේශයෙන් එක්‌ මරණයක්‌ වාර්තා වී ඇත. වලස්‌මුල්ල ප්‍රදේශයෙන් අතුරුදන්වීම් 07 ක්‌ සහ බෙලිඅත්ත ප්‍රදේශයෙන් එක්‌ අතුරුදන්වීමක්‌ වාර්තා වී ඇත.

මාතර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 60917 කට අයත් පුද්ගලයන් 231945 ක්‌ පීඩාවට පත්වී ඇත. මෙම දිස්‌ත්‍රික්‌කයේ නිවාස 113 ක්‌ සම්පූර්ණයෙන් හානිවී නිවාස 290 කට අර්ධහානි වී ඇත. පවුල් 8451 කට අයත් පුද්ගලයන් 33635 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 43 ක

රැඳවීමට පියවර ගෙන ඇත. මෙම දිස්‌ත්‍රික්‌කයේ කොටපොල ප්‍රදේශයෙන් මරණ 07 ක්‌ සහ අතුරුදන්වීම් 16 ක්‌ ද තිහගොඩ ප්‍රදේශයෙන් මරණ 01 ක්‌ ද, මුලටියන ප්‍රදේශයෙන් මරණ 05 ක්‌ සහ අතුරුදන්වීම් එකක්‌ සහ වැලිපිටිය ප්‍රදේශයෙන් එක්‌ මරණයක්‌ වාර්තා වී ඇත.

මුලතිව් දිස්‌ත්‍රික්‌කයේ පවුල් 26 කට අයත් පුද්ගලයෝ 70 ක්‌ ද පීඩාවට පත්ව සිටිති. මෙම දිස්‌ත්‍රික්‌කයේ නිවාස 05 ක්‌ පූර්ණ හානි සිදුවී නිවාස 11 කට අර්ධ හානි වී ඇත. වවුනියාව දිස්‌ත්‍රික්‌කයේ පවුල් 06 කට අයත් පුද්ගලයන් 33 දෙනකු පීඩාවට පත්ව ඇත. මහනුවර දිස්‌ත්‍රික්‌කයේ ද පවුල් 09 කට අයත් පුද්ගලයන් 40 දෙනකු පීඩාවට පත්ව ඇත. නිවාස 09 කට ද අර්ධහානි වී ඇත. මාතලේ දිස්‌ත්‍රික්‌කයේ පවුල් 07 කට අයත් පුද්ගලයන් 31 දෙනකු පීඩාවට පත්ව තිබේ. නිවාස 06 කට ද අර්ධ හානි වී ඇත. නුවරඑළිය දිස්‌ත්‍රික්‌කයේ පවුල් 44 කට අයත් පුද්ගලයන් 194 දෙනකු පීඩාවට පත්ව ඇත. නිවාස 10 කට ද අර්ධ හානි වී ඇත. මෙම දිස්‌ත්‍රික්‌කවල ජනතාව පීඩාවට පත්ව ඇත්තේ දැඩි සුළං තත්ත්වය හේතුවෙනි.

කෑගල්ල දිස්‌ත්‍රික්‌කයේ පවුල් 1439 කට අයත් පුද්ගලයන් 5262 ක්‌ පීඩාවට පත්ව ඇත. නිවාස 09 කට අර්ධ හානි සහ නිවාස 54 කට අර්ධ හානි වී ඇත. පවුල් 576 කට අයත් පුද්ගලයන් 2261 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 22 ක රැඳවීමට පියවර ගෙන ඇත.

* රත්නපුර 32534 ක්‌ අවතැන්

රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ පවුල් 12036 කට අයත් පුද්ගලයන් 50119 ක්‌ පීඩාවට පත්ව ඇත. නිවාස 15 ක්‌ සම්පූර්ණ හානි වී නිවාස 195 කට අර්ධ හානි වී ඇත. පවුල් 7413 කට අයත් පුද්ගලයන් 32534 ක්‌ ආරක්‍ෂිත ස්‌ථාන 119 ක රඳවා ඇත. මෙම දිස්‌ත්‍රික්‌කයේ 51 ක්‌ මියගොස්‌ 05 දෙනකු අතුරුදන් වී ඇත.

අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුර තත්ත්වයෙන් කළුතර දිස්‌ත්‍රික්‌කයේ ඉත්තෑපාන, ලෙව්වන්දුව, වැලිපැන්න, හොරවල, ඌරාගොඩ ඇතුළු ගම්මාන රැසක ජන ජීවිතයට දැඩි ලෙස බලපෑම් ඇති වී තිබේ. මෙහි ගමනාගමන කටයුතු ඊයේ සවස්‌ වන විටත් යථා තත්ත්වයට පත්ව නොතිබිණි.

*කළු, කැලණි, ගිං, නිල්වලා ගංගා පිටාර ගලයි

අධික වර්ෂාවත් සමඟ කැලණි, ගිං, කළු, නිල්වලා ගංගා පිටාර ගැලීම නිසා ජන ජීවිතය අඩාල වූ අතර ඇතැම් ප්‍රදේශවලට අඩි 20 ක්‌ 30 ක්‌ පමණ උසට ජලය පිරීයැම නිසා සහන කණ්‌ඩායම්වලට ද එම ස්‌ථානවලට ප්‍රවිශ්ට වීමට අපහසු බව රජයේ ජ්‍යෙෂ්ඨයෙක්‌ පැවසීය.

කෙසේ වෙතත් ගංවතුරෙන් කොටු වූ ජනතාව බේරාගැනීම සඳහා නාවික හමුදා යාත්‍රා, ධීවර බෝට්‌ටු සමඟ ගුවන් හමුදා හෙළිකොප්ටර් 11 ක්‌ සේවයට එක්‌කර ගැනීමට කටයුතු කළ බව ද ඔහු කීය. කෙසේ වෙතත් කැලණි, කළු, ගිං, නිල්වලා ගංගාවල ජල මට්‌ටම ඉහළ යමින් පවතින නිසා අද සහ හෙට (29 හා 30 දිනවල) අධික වර්ෂාවක්‌ ඇති වුවහොත් එම ගංගාවල ජල මට්‌ටම තවත් ඉහළ යැමට ඇති හැකියාව සැලකිල්ලට ගෙන ගංගා අවට පදිංචිකරුවන්ට ආරක්‍ෂිත ස්‌ථානවල තවදුරටත් රැඳී සිටින ලෙස රජය දැනුම් දී ඇතැයි ද ඔහු කීය.

ඊයේ වර්ෂාවේ අඩුවක්‌ තිබුණ ද මාතර දිස්‌ත්‍රික්‌කයේ පස්‌ගොඩ, කඹුරුපිටිය, මාතර, අකුරැස්‌ස යන ප්‍රදේශවල ප්‍රධාන මාර්ගවල ස්‌ථාන කිහිපයක්‌ ජලයෙන් යටවීම නිසාත් පස්‌ කඩාවැටීම් නිසාත් ගමනාගමනයට බාධා එල්ල වී තිබූ බව ද ඔහු පැවසීය.

* ගිංගඟේ බැම්මේ ජල කාන්දුවක්‌

ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ ගිංගඟේ ආරක්‍ෂිත බැම්මේ ස්‌ථාන කිහිපයක ජල කාන්දුවීමක්‌ වාර්තා වී තිබූ අතර එම ස්‌ථාන ආරක්‍ෂා කර ගැනීම සඳහා වැලි කොට්‌ට අතුරා තාවකාලිකව වේල්ල ආරක්‍ෂා කර ගැනීමට නාවික හමුදාව සහ වාරිමාර්ග නිලධාරීන් කටයුතු කළ බව ද ඔහු කීය. ගාල්ල බද්දේගම පැරණි පාලමේ ද ජලය බැස යැමට අවහිර වීම නිසා එම පාලම ද කඩා ජලය මුහුදට බැසයැම විධිමත් කිරීමට සැලසුම් කළ බව ද ඔහු කීය. ගාල්ල වක්‌වැල්ල පාලමේ ද ජලය බැසයැමට අවහිරව තිබූ කොටන් ඇතුළු අවහිර වූ දැ ඉවත් කිරීමට නාවික හමුදාව පියවර ගෙන තිබේ.

හදිසි ගංවතුර සහ සුළං තත්ත්වය හේතුවෙන් මාතර, තංගල්ල, ඉංගිරිය, රත්නපුර ප්‍රදේශවල ඇතැම් ස්‌ථානවල ජල නළ පද්ධති බිඳවැටී තිබේ.

රජය මගින් ආපදාවට ලක්‌වූවන් බේරාගැනීම සඳහා කටයුතු කර ඔවුන් ආරක්‍ෂිත ස්‌ථාන කරා රැගෙන ගොස්‌ ඔවුන්ගේ ආහාර පාන ඇතුළු මූලික අවශ්‍යතා ලබාදීමට හැකි අයුරින් කටයුතු කර තිබිණි.

* කඩිනමින් ආධාර ලබාදෙන්න

අවතැන්වූවන් සඳහා පරිත්‍යාගශීලීන්ගෙන් පානීය ජලය, අලුත් ඇඳුම්, බෙහෙත් ද්‍රව්‍ය, සනීපාරක්‍ෂක ද්‍රව්‍ය, ඇඳ ඇතිරිලි, තුවා සහ වියළි ආහාර අත්‍යවශ්‍ය වී තිබෙන අතර ඒවා හැකි පමණින් ආධාර එකතු කරන ස්‌ථානවලට ලබාදෙන ලෙස රජය ජනතාවගෙන් ඉල්ලා සිටී.

[youtube eZL6GjukaHc]

-දිවයින-

RSL

Related Posts