විදුලිය දෙන්න පාවෙන බලාගාර 2ක් ලංකාවට

Spread the love

ඇති වී තිබෙන විදුලි අර්බුදය හමුවේ ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම් ලබාදීම සඳහා මෙරට නියෝජිතයකු සිදු කළ ඇණවුමකට අනුව ඉරානයට සහ තවත් මැදපෙරදිග රටකට අයත් පාවෙන විදුලි බලාගාර සහිත නෞකා (බාර්ජ්) දෙකක් ඊයේ (03) වන විට ශී‍්‍ර ලංකාව සමීපයට පැමිණ තිබිණි.

මෙම පාවෙන බලාගාර දෙකින් සුදුසු එකක් හම්බන්තොට හෝ ති‍්‍රකුණාමලය වරායට ළඟාවීමෙන් පසු එහි සිට ශී‍්‍ර ලංකාවට අවශ්‍ය හදිසි විදුලිය සැපයීම් සඳහා එම පාවෙන බලාගාරයෙන් උත්පාදනය කෙරෙන විදුලිය මෙරට පද්ධතියට එක් කිරීම සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.

මෙම පාවෙන බලාගාර දෙකෙන් එකකින් හදිසි විදුලිය මිලදී ගැනීමට දැනටමත් තීරණය වී අවසන් බවද හෙතෙම සඳහන් කළේය. පවතින අර්බුදය හමුවේ ඊයේ වනවිට රටපුරා රෝහල් සඳහා විදුලිය සැපයීම ද සාමාන්‍ය පරිදි අත්හිටුවීමට මණ්ඩලයට සිදුව තිබිණි.

මේ සම්බන්ධයෙන් විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය සුරේන් බටගොඩ මහතාගෙන් කළ විමසීමකදී රටේ හදිසි මිලදී ගැනීම් සඳහා විකල්පයක් ලෙස පාවෙන විදුලි බලාගාර දෙකක් ශී‍්‍ර ලංකාව සමීපයට ළඟා වී තිබෙන බව ඒ මහතා ද තහවුරු කළේය.

විදුලි අර්බුදය සඳහා විකල්ප යෝජනා ඉදිරිපත් කරන ලෙස ඉකුත් දිනවල විදුලිබල අමාත්‍යංශය දැන්වීම් මගින් ප‍්‍රකාශ කළ අතර එහිදී යෝජනා කිහිපයක් ඉදිරිපත් වූ බවද කී ලේකම්වරයා ඒ අතරින් එක් යෝජනාවක් වූයේ පාවෙන බලාගාරයකින් රටේ හදිසි විදුලිය අවශ්‍යතා සපුරා ගැනීම බවද පෙන්වා දුන්නේය.

මේ වන විට රටට විදුලිය සැපයීම විශාල අභියෝගයක් වී තිබෙන නිසා අනිවාර්යයෙන්ම හදිසි මිලදී ගැනීම්වලට යොමුවිය යුතුව තිබෙන බව කී ආචාර්ය සුරේන් බටගොඩ මහතා යම් අන්දමකින් අදාළ පාවෙන බලාගාර වෙතින් හදිසි විදුලිය මිලදී ගැනීමක් සිදු කරන්නේ නම් ස්ථිර වශයෙන්ම එය සිදු කරන්නේ මෙරට පෞද්ගලික බලාගාර වෙතින් විදුලිබල මණ්ඩලය විදුලිය මිලදී ගන්නා මිලට වඩා අඩු මිලකට ලැබුණොත් පමණක් බවද අවධාරණය කළේය.

-දිවයින-

RSL

Related Posts