FCIDයට නව පණක්

Spread the love

FCID2පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය දැනට සිදුකරන කාර්යභාරය වඩාත් ශක්තිමත් හා පුළුල් බලතල සහිතව ක්‍රියාත්මක කිරීම සඳහා වෙනම ආයතනයක් ස්ථාපිත කිරීමට ඉදිරියේදී පියවර ගන්නා බව සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැති සම කැබිනට් ප්‍රකාශක වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වසා දැමීමට තීරණය කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු ඇතැම් පිරිස් කරන ප්‍රකාශවල කිසිදු සත්‍යතාවක් නැතැයි ද, සිදුකෙරෙන්නේ එම කොට්ඨාසයේ මුල් අදියරේ කටයුතු අවසන් වීමත් සමඟ නව ආයතනය ස්ථාපිත කිරීම යැයි ද ඇමැතිවරයා පවසයි. එමෙන්ම නව ආයතනය ස්ථාපිත කරන තෙක් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ කාලය දීර්ඝ කර එහි කටයුතු ඉදිරියට පවත්වා ගෙන යන බවද ඇමැතිවරයා සඳහන් කරයි.

ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ ඊ‍යේ (15) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වසා දමන්නේ දැයි මාධ්‍යවේදීයකු නඟන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

පොලිස්පතිවරයා මෙම ආයතනය පිහිටුවීම සඳහා ගැසට් නිවේදනයක් ඉදිරියේදී නිකුත් කරනු ඇති බවත්, ඒ සඳහා අවශ්‍ය පියවර සියල්ල සපුරාලීමෙන් පසු මාස පහක් හෝ හයක් ඇතුළත එය ස්ථාපිත කිරීමට හැකි වෙතැයි අපේක්ෂා කරන බවත් ඇමැතිවරයා පවසයි.

RSL

Related Posts