එජාප හිටපු මන්ත්‍රී ජයම්පතිගේ ව්‍යවස්ථාවේ හිල්; එජාප මන්ත්‍රීවරු ඇතුළු නීතිවේදීන්ගෙන් චෝදනා
- RSL
- November 11, 2018
- උණුසුම් පුවත්, පුවත් සහ වාර්තා
- Dr Jayampathi Wickramarathne, Ranil Wickramasinghe, United National Party, UNP
- 0 Comments
එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තුවෙන් පත් වූ ප්‍රවීන ව්‍යවස්ථා සහ නීති විශාරදයකු වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්නගේ මූලිකත්වයෙන් සකස් කරන ලද 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති හිල් සම්බන්ධයෙන් එජාප මන්ත්‍රීවරුන් ඇතුළු නීතිවේදීන්ගෙන් මේ වන විට බරපතල චෝදනා එල්ල වෙමින් පවතින් බවට වාර්තාවේ.
විධායක ජනාධිපතිවරයාගේ තනතුර බෙලහීන දුර්වල තත්වයට පත්කොට අග්‍රාමාත්‍යධුරය ශක්තිමත් කරමින් පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු සඳහා වන බවට පවසමින් ආචාර්ය ජයම්පති වික්‍රමරත්න විසින් සම්පාදනය කොට කෙටුම්පත් කළ 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ බොහෝ අඩුලුහුඬුකම් ඇති බවත්, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එම හිල් ඉතා සූක්ෂමව උපයෝගී කරගනිමින් රිංගා ගොස් ඇති බවත් මේ වන විට අනාවරණය වී ඇත.
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඉවත් කිරීමටත්, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නිතීවිශාරදයින් උපයෝගී කරගෙන ඇත්තේ ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහත් පරිශ්‍රමයක් යොදා සකස් කරන ලද එම ව්‍යවස්ථාවේම රිංගා යා හැකි හිල් (දුර්වලතා) බව තහවුරු වී ඇත.
මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ඇතුළු පක්ෂයේ නීති ක්ෂ්‍රේතයේ මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් පසුගියදා ඔහුට දැඩි ලෙස චෝදනා කර ඇත්තේ, “හිරවෙන්නම ගැටේ ගැසූවා” කියා කියූ ඒකේ මේ තරම් හිල් තියෙන්නේ කෙසේද යන්නයි.
එහිදී තමන්ට එල්ලවී ඇති චෝදනාවෙන් දැඩි පීඩනයකට පත්ව ඇති ජයම්පති “මට කරන්න, බලන්න පුළුවන් හැම පැත්තෙන්ම බලලා මම වැඩ කළේ; ඇයි ඔබ තමුන්නාසේලා කවුරුවත් ඒ වෙලාවේ මේකේ තියෙන හිල් තියා නිකමටවත් කියවලා බලන්නවත් උනන්දු නොවූයේ” යනුවෙන් පවසා ඇතැයි අප දේශපාලන වාර්තාකරු සඳහන් කළේය.
කෙසේ වෙතත් අවසානයේ එජාප නායක රනිල් වික්‍රමසිංහ පවසා ඇත්තේ, ජයම්පතිට චෝදනා කිරීමෙන් පලක් නොවන බවත්, අපි මේ මොහොතේ ඔහුගේ සහයද ලබාගනිමින් ජනාධිපති මෛත්‍රී ගැසූ පහරට, පෙරලා ඔහුට ගැසීමට මාර්ග සෙවීම බවයි.


