EPF කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීම වහාම අහෝසි කරන්න

Spread the love

සේවක අර්ථ සාධක අරමුදල කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට රජය ගෙන යන වැඩපිළිවෙළ වහා අහෝසි කර ගන්නැයි රජයට අවධාරණය කරන බව අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ මහතා ඊයේ (21) පැවසීය.

2011 වසරේ මහින්ද රාජපක්ෂ ආණ්ඩුව විසින් ද සේවක අර්ථ සාධක අරමුදලේ මුදල් විශ‍්‍රාම වැටුපක් පෙන්වා කොල්ලකෑමට උත්සාහ කළා. ඒ අවස්ථාවේ එය පරාජය කළා. මේ ආණ්ඩුව ද නැවත අරමුදල කොල්ලකෑමට උත්සාහ කළහොත් පෞද්ගලික අංශයේ සේවකයින් සමඟ සියලූ වෘත්තීය සමිති ඒකාබද්ධ කරගෙන එය පරාජය කිරීමට අන්තර් සමාගම් සේවක සංගමය පෙරමුණ ගන්නවා යැයි ද සමරසිංහ මහතා ඊයේ (21) කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

මේ වන විට සේවක අර්ථසාධක අරමුදලේ මුදල් මහ බැංකු බැඳුම්කර හා භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කිරීමෙන් සීයට එකොළහයි දශම පහක පොලියක් ලැබෙන බවත් කී ඒ මහතා අරමුදලේ මුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමෙන් පාඩුවක් සිදු වුවහොත් ඊට වගකිව යුත්තේ කවුරුන්ද යන්න කෙනෙක් නොමැති බව ද හෙතෙම කියා සිටියේය.

ලක්ෂ 26 ක් වන පෞද්ගලික අංශයේ හා අර්ධ රාජ්‍ය අංශයේ සේවකයින්ට අයත් සේවක අර්ථ සාධක අරමුදල පත් වන සෑම ආණ්ඩුවක්ම බිස්නස් කිරීමට එම මුදල් ලබා ගැනීමට උත්සාහ කරන බවත් මේ සම්බන්ධයෙන් මහ බැංකු අධිපතිවරයාව ඊයේ (21) මහ බැංකුවට ගොස් හමු වී දේශපාලන වුවමනා එපාකම් මත සේවක අර්ථ සාධක අරමුදල් කොටස් වෙළෙඳපොළේ ආයෝජනය කිරීමට පියවර නොගන්නා ලෙස ඉල්ලීමක් කළ බවත් ඒ මහතා වැඩිදුරටත් කීය.

RSL

Related Posts