වෛද්‍ය වැඩ වර්ජනය ගැන නොදැන පැමිණි රෝගීන් අමාරුවේ

Spread the love

ජාත්‍යන්තර ගිවිසුම් පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව රටට හානිකර සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම අත්සන් තැබීම ඇතුළු කරුණු 10 ක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද(03) වැඩ වර්ජනයක නිරත වුණි.

මේ හේතුවෙන් දිවයිනේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශ හා සායන නිසි පරිදි සිදු නොවූ අතර වර්ජනය පිළිබඳව නොදැන ප්‍රතිකාර ගැනීමට පැමිණි සිටි රෝගීන්ද අපහසුතාවට පත්ව සිටිනු දක්නට ලැබුණි.

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පෙරවරු 8.00 සිට දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළේ කරුණු 10 ක් මුල්කරගනිමින්ය.

අන්තර්ජාතික වෙළඳාම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියකින් තොරව සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වැනි ගිවිසුම් අත්සන් තැබීම හා නව දේශීය ආදායම් පනත හරහා වෛද්‍යවරුන්ට හා පොදුවේ වෘත්තීයවේදීන්ට එල්ල වී ඇති අහිතකර බලපෑම් පිළිබඳව සිය සංගමය ඉදිරිපත් කළ සංශෝධන සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබීම ඇතුළු තවත් කරුණු 08 ක් ඊට අයත්ය.

කෙසේ වෙතත් ඇතැම් රෝහල්වල බාහිර රෝගී අංශ ප්‍රතිකාර කටයුතු සාමාන්‍ය පරිදි සිදු කෙරුණි.

මේ අතර රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය දියත් කළ වැඩවර්ජනය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසන්නේ මෙම වැඩවර්ජනය කිසිසේත් සාධාරණ නොවන බවයි.

වැඩවර්ජනයට එක් හේතුවක් ලෙස දක්වා ඇති වෛද්‍යවරුන් ගෙන් අය කෙරෙන ආදායම් බද්ද සියයට 24 දක්වා වැඩි කළ බවට වන චෝදනාව අසත්‍ය බව ද එම නිවේදනයේ දැක්වෙයි.

ආදායම් බද්ද සියයට 24 දක්වා අයකර ගනු ලබන්නේ මාසිකව රුපියල් 350,000 කට වඩා වැඩි ආදායමක් ලබන වෛද්‍යවරුන්ගෙන් පමණක් බව ද එහි සඳහන්ය.

වර්ජනයට තවත් හේතුවක් ලෙස දක්වා ඇති පෞද්ගලික රෝහල් සඳහා පනවා ඇති සියයට 15ක වැට් බද්ද පසුගිය මාසයේ සිට ඉවත් කර ඇති අතර ඒ පිළිබදව සෞඛ්‍ය සේවාවේ ප්‍රමුඛ වෘත්තිය සමිතියක් නොදැන සිටිම කණගාටුවට කරුණක් බව සෞඛ්‍ය අමාත්‍යවරයාගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.

ආශ්‍රිත පුවත්: අගෝස්තු 03 වනදා වෛද්‍ය වැඩ වර්ජනය කුමක් සඳහා ද..?

RSL

Related Posts