දක්‍ෂතාව නැත්නම් මොන ආශිර්වාද තිබුණත් වැඩක්‌ නැහැ – දිනේෂ් චන්දිමාල්

Spread the love

පාකිස්‌තානය සමග පැවැති තරග දෙකකින් සමන්විත ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගාවලිය ජයග්‍රහණය කළේ නායක චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ලබාගත් ආශිර්වාදය නිසාදැයි ඊයේ (31 දා) ශ්‍රී ලංකා ක්‍රිකට්‌ මූලස්‌ථානයේදී ඔහුගෙන් විමසන ලදුව ඉදිරියට යැමට නම් ආශිර්වාද අවශ්‍ය බව පැවසීය.

එක්‌සත් අරාබි එමීර් රාජ්‍යයේ පාකිස්‌තාන් තරගාවලියට පිටත්ව යැමට පෙර දිනේෂ් චන්දිමාල් මෑණියන් කෙනෙකුගෙන් ආශිර්වාද ලබාගත් බව සහ එහි ඡායාරූප සහ විස්‌තර අන්තර්ජාලයේ පළවීම සම්බන්ධයෙන් චන්දිමාල්ගෙන් මෙම පිළිබඳව විමසීමේදී ඔහු වැඩිදුරටත් මෙසේ පැවසීය.

”ඕනම ආගමකින් කරන්නේ මිනිසුන්ට ආශිර්වාදය කරන එක. කිසිම ආගමකින් නරක දේකට ආශිර්වාද කරන්නේ නැහැ. ගංගා මහත්මිය නෙමෙයි ස්‌වාමින් වහන්සේ කෙනෙක්‌ හරි වෙන ඕනෑම පූජකවරයෙක්‌ හරි ස්‌වාමින් වහන්සේ කෙනෙක්‌ හරි ආශිර්වාද කරනවා නම් මම ඒ ආශිර්වාදය ගන්න ලෑස්‌තියි.”

ආශිර්වාදය ලබා ගැනීම එක්‌ එක්‌ පුද්ගලයා අදහන ආගමට අනුව වෙන දෙයක්‌ බවත් සෑම දෙනාටම ආශිර්වාද අවශ්‍ය බවත් චන්දිමාල් පවසයි.

”අපිට ආශිර්වාද තියෙන්න ඕන. ඒ වගේම දක්‍ෂතාවත් තියෙන්න ඕන කණ්‌ඩායමේ සියලුම දෙනාට. දක්‍ෂතාවක්‌ නැතුව මොන ආශිර්වාද තිබුණත් අපට ඉස්‌සරහට යන්න බැහැ. ඒ වගේම මාධ්‍ය සහය නැතිව ඉස්‌සරහට යන්නත් බැහැ. ඕක තමයි ඇත්ත තත්ත්වය.”

තමා ආශිර්වාද ලබාගත් මෑණියන් තමාගේ මිත්‍රයකුගේ මවක්‌ බවත් ඇයව පෞද්ගලිකව හඳුනන බවත් පවසන චන්දිමාල් මාධ්‍යයට ඕනම දෙයක්‌ කියන්න නිදහස තියෙන බවත් එය විවිධ ආකාරයට සඳහන් කළ හැකි බවත් පවසයි.

RSL

Related Posts