දෙරණේ මාධ්‍ය භාවිතය පහත්! එහෙත් අගමැති එන්නෙ මොකාට ද?

Spread the love

His Master

දෙරණ මාධ්‍ය ජාලය දිලිත් ජයවීරලාට අයත් ය. එය මහින්ද රාජපක්ෂගේ සට්ටඹියන් ලෙස වැඩ කළ සහ වැඩ කරන එකකි. මහින්ද පාලන කාලයේ දිලිත්ලාගේ කටයුතු ගැන ද පසුගිය කාලයේ කතා බහට ද ලක් විය. එහි නිවේදකයින්ගෙන් එන්නේ ඔවුන්ගේ ස්වාමින්ගේ හඬ බවට ද සැකයක් නැත.

දැන් මාර ම මාර විදිහට ජනතාවාදී ව හිටගෙන රජයේ දේවල් විවේචනය කරන චතුරලා, සංඛලා මහින්ද පාලන කාලයේ සිදු වූ නොපණත්කම් එකකට කට ඇරිය බවක් අප නොදනිමු. එදා ඔවුන් කතා කළේ බරපතළ සීමාවල් ඇති ව ය. දැන් ඔවුන් සද්දය පටන් අරගෙන ඇත. එය මහින්දලාගේ කුණු හෝදන්නක් බව සැකයක් නැත. එය දිලිත්ලාගේ අවශ්‍යතාව යි.

නමුත්, අගමැති රනිල් වික්‍රමසිංහ විසින් ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශය කිසිසේත් ම සාධාරණ නැත. විකාශන බලපත්‍රය අභියෝගයට ලක්කර බිය ගන්වා දේවල් පාලනය කරන්නට යෑම කිසිසේත් ම හොඳ සම්ප්‍රදායක් ලෙසත් යහපාලනයට එකඟ යමක් ලෙසත් ගිණිය නොහැකි ය. මෙවැනි සම්ප්‍රදායන් මුලින් හොඳින් පටන්ගෙන පසුව තමන්ව විවේචනය කිරීම පාලනය කිරීම දක්වා ගෙන යන බවට ඉතිහාසයේ බොහෝ පාඩම් දකින්නට ඇත. හැරත් අගමැතිවරයා දැන් දැන් බොහෝ විට අති මාන්නක්කාර සහ අධිපතිවාදී ලෙස දේවල් පාලනය කරන නියායෙන් හැසිරෙන බව පොඩි දරුවෙකුට වුව ද වැටහෙන්නකි.

බොහෝ මාධ්‍ය අතිශය නින්දිත ලෙස පාර්ශ්වීය හැසිරෙන බව ඇත්ත ය. නමුත්, එයට විකල්පය ඔවුන්ගේ විකාශන බලපත්‍රය අහෝසි කරන බවට බියගැන්වීම නොවේ. එය ප්‍රජාතන්ත්‍රවිරෝධී බවට සැක නැති. කළ යුත්තේ රටේ පවත්නා නීතිය බලාත්මක කිරීම ය. එයට අනුව කටයුතු කිරීම ය. නැතිව තම දේශපාලනයට විරුද්ධ මත දරන පිළට එරෙහිව අනීතිකව කටයුතු කිරීම නොවේ.

RSL

Related Posts